සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එළියට ඇද දමති


පස්වරු 5.05

පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ බව කියන විශ්ව විද්‍යාල සිසුහු 10 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.


පස්වරු 4.55

(අංජුල මහීක වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒ අවට ප්‍රදේශයේ දේපොළ ආරක්ෂා කරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පොලිස් විශේෂ කාර්ය බළකායට අණ කර ඇත.


පස්වරු 4.50

(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සයිටම් විරෝධී සිසුන් ඉන් ඉවත් කිරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කළ අතර මේ වනවිට එහි ඇතුළුවූ සියලු සිසුන්සි සෞඛ්‍ය අමාත්‍යංශ භූමියෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

මේ වන විට උද්ඝෝෂකයින් පළවා හැරීමට කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති අතර සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශ භූමියෙන් පිටතට පැමිණ අවට මාර්ග ඔස්සේ ගමන් කරති.


පස්වරු 4.30

​(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සයිටම් විරෝධී සිසුන් ඉන් ඉවත් කිරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් සිටී.

මේ වන විට එක් මහලක සිසුන් සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීහු එහි ගොස් සිසුන් පළවා හැරීමේ නිරතව සිටිති.

(ඡායාරූප - ඉෂංක සුනිමල්)

 


පස්වරු 3.00

සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් හතරම මේ වනවිට උද්ඝෝෂණයට පැමිණි සිසිහූ අත්පත් කරගෙන සිටිති.

(ඡායාරූපය - ඉෂංක සුනිමල්)


පස්වරු 2.38

විරෝධතාවයේ නියුතු සිසුහු සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුළු වූහ. 

එහි මහල් තුනටම ගොස් ඔවුහු විරෝධයේ නිරත වෙති.

(ඡායාරූපය - ඉෂංක සුනිමල්)


පස්වරු 2.28

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන මේ වනවිට කොළඹ පුරහල අසලින් ආරම්භ කළ අතර මේ වනවිට පොලිසිය දමා තිබූ ආරක්ෂක බැරියර් ඉවත් කර සොඛ්‍ය අමාතංශයේ ගේට්ටුව කඩාගෙන සිසූහූ අමාත්‍යංශය තුළට කඩා වැදුණහ.

මේ මොහොතේ සිසුහු අමාත්‍යංශ භූමිය තුළ උද්ඝෝෂණ කරති.

(ඡායාරූප - ඉෂාන් සංජීව)


පස්වරු 2.00

​(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන මේ වනවිට කොළඹ පුරහල අසලින් ආරම්භ කර ඇත.

ඔවුහු පාගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන් කිරීමට නියමිතය. එම මාර්ගය අවට පොලිස් මාර්ග බාධක ද යොදා ඇත.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)