සයිටම් විරෝධී මහා වැඩ වර්ජනයක් හෙට


(රංජන් කස්තුරි)

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස බලකරමින් රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් , සෞඛ්‍ය හා  අධ්‍යාපන ක්ෂේත්‍රවලට අයත් සේවක සේවිකාවන් හෙට (21) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිත ය.

රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය සහ සයිටම් විරෝධී ජනපවුර සංවිධානය මගින් සංවිධානය කරනු ලබන එම වර්ජනයට රටපුරා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්,හෙද හෙදියන් ,සෞඛ්‍ය කාර්ය මණ්ඩල ,රජයේ පාසල්වල විදුහල්පතිවරුන් ,ගුරුවරුන් ,පිරිවෙන් ගුරුවරුන් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,අනධ්‍යයන සේවකයින් ඇතුළු පිරිසක් එම වර්ජනයට එක්වන බවද සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මේ අතර රටපුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට(21) පෙරවරු 8.00 සිට ආරම්භ කරන වැඩ වර්ජනය අනිද්දා (22) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියයි.

මාතෘ රෝහල්,ළමා රෝහල් ,පිළිකා ආයතන ,වකුගඩු ආයතන හා හමුදා රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන අතර අනෙකුත් රෝහල්වල හදිසි ප්‍රතිකාර පමණක් සිදු කෙරේ.