සමාජ ජාල භාවිතා කරන්නන්ට එරෙහිව අධ්‍යාපන ලේකම්ගෙන් පැමිණිල්ලක්


රංජන් කස්තුරි

 

පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප‍්‍රවෘත්තියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කෙරෙන බව සඳහන් කරමින් හා ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දන්වමින් අධ්‍යාපන ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇතැම් කණ්ඩායම් සැලසුම් සහගත ලෙස එම ව්‍යාජ ප‍්‍රවෘත්තිය වසන් කිරීම නිසා අධ්‍යාපන අමාත්‍යවරයාටත් අධ්‍යාපන අමාත්‍යංශයේ කීර්තිනාමයටත් දැඩි බලපෑමක් එල්ල වන අතර උසස් පෙළ විභාගයක් පවතින අවස්ථාවකදී ගුරුවරුන් සම්බන්ධයෙන් මෙවැනි කරුණු පළවීම මහජන කැළඹීමකට හේතුවිය හැකි බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කර ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ. 

එක්තරා ඉරිදා පුවත්පතක පළ වූ ප‍්‍රවෘත්තියක් ලෙස හුවා දක්වමින් එම අසත්‍ය කරුණු කිසියම් පිරිසක් විසින් වෙබ් අඩවි සහ මුහුණුපොත ආදී සමාජ ජාලාවල පළකර තිබෙන බව ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අධ්‍යාපන ලේකම්වරයාගේ ලිඛිත පැමිණිල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ නීති නිලධාරිනී සුරංගි පෙරේරා, මාධ්‍ය අධ්‍යක්ෂ සුගත් ධර්මපි‍්‍රය, මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න යන මහත්ම මහත්මීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබිණි.