සම්බන්ධන්ගෙන් විග්නේශ්වරන්ට අවවාදාත්මක ලිපියක්


 
සිරාජ් හසීම්
උතුරු පළාත් සභාව තුළ හටගෙන ඇති අර්බුදකාරි තත්වය විසඳා ගැනිමට නම් දූෂන චෝදනාවන්ගෙන් වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් වැරදි තීරණය කඩිනමින් නිවැරදි කරගන්නා ලෙස දෙමළ ජාතිත සන්ධානයේ නායක විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා එම පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත
පරීක්ෂණ මණ්ඩලය විසින් වරදකරුවන් කරන ලද අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් තීරණය නිවැරදි වුවත් වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් දඩුවම් ක්‍රියාමාර්ගය ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති අයුතු ක්‍රියාවක් යැයි ද සම්බන්ධන් මහතා සදහන් කර ඇත
සම්බන්ධන් මහතා විසින් මහ ඇමතිවරයා වෙත යවන ලද ලිපියේ මෙසේද සදහන් කර ඇත
වරදකරුවන් වූ අමාත්‍යවරුන් දෙදෙනාට ඉල්ලා අස්වෙන ලෙසට ඔබ දන්වා ඇති අතර, එම තීරණය සම්බන්ධයෙන් කිසිවෙක් පැමිණිලි කර නොමැත. 
පරීක්‍ෂණ මණ්ඩලය විසින් වරදකරුවන් ලෙස නම් නොකළ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව ඔබ විසින් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. එම ක්‍රියාවෙන් ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති අතර, එය අයුතු ක්‍රියාවකි. 
වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා හා පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් එවැනි ක්‍රියාමාර්ගයකට විරෝධය පලකළ හැකි බැවින් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම අනතුරුදායක වන බව මම ඔබට 13 වෙනි අඟහරුවාදා දුරකථන සංවාදයේදී දැන්වූයෙමි. 
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයට අයත් අනෙකුත් පක්ෂ නායකයන් සමගද මේ සම්බන්ධයෙන්  ඔබ සාකච්ඡා කර ඇත. එහෙත් ඔබ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මැතිතුමා සමඟද සාකච්ඡා කර නොතිබුණ බව ඔබතුමාගේ අවධානයට යොමු කළෙමි. ඔබ එතුමාට කථා කර ඇත්තේ ඉන් පසුවය. වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව පියවර නොගන්නා ලෙසට එතුමා ඔබට දන්වා තිබුණි. 
වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් පවා දඬුවම් ක්‍රියාමාර්ග ගන්නා බවට ඔබ 14 වෙනි බදාදා නිවේදනය කර තිබුණි. ඉන්පසු සිදුවූ කුමන දෙයක් වුවත් ඇති වූයේ ඔබගේ ඉහත සඳහන් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් වශයෙනි. 
මෙම තත්වයේ අවසානයක් දැකීමට නම් පළමුවෙන්ම කළ යුතු වන්නේ වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රතිකර්මයක් කළ යුතු බව මගේ හැඟීමයි. අසමගිය හා බාධාවන් ප්‍රවර්ධනය වන අත්තනෝමතික ක්‍රියාවන් කිසිම ආකාරයකට උතුරු පළාත් සභාවේ ක්‍රියාකාරීත්වයට හේතු නොවිය යුතුය. 
එබැවින් ඔබගේ පරීක්‍ෂණ මණ්ඩලය මගින් වරදකරුවන් නොකළ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ඔබ විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය හැකි ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසට මම ඉල්ලා සිටිමි. තවදුරටත් කෙරෙන පරීක්‍ෂණ කටයුතුවලට මෙය බාධාවක් නොවනු ඇත.