සම්බන්ධන් හකීම්ට අත වනයි


නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී රජයට පැහැදිලි බහුතරයක් නැති නිසා ආණ්ඩුවක් පිහිටැවීමට විපක්‍ෂයට ආරාධනා  කරමින්   නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රමට ලිපියක් යැවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියයි. විපක්‍ෂය වශයෙන්  ඔහු සඳහන් කරනුයේ ආසන 11ක් දිනාගත් තමිල් අරසු කච්චි පක්‍ෂය, ආසන7 ක් දිනාගත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ආසන 4ක් දිනාගත්  එක්සත් ජාතික පක්‍ෂයයි. ඒ පක්‍ෂ තුනට ආසන 22 ක් හිමිවී ඇත.රජයට ආසන 14ක්ද වීරවංශ මහතාගේ  ජාතික නිදහස් පෙරමුණට ආසනයක්ද හිමිවී ඇත. රජය සමග සන්ධාගතවී සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රජයට සහය දෙතොත් රජයට ආසන 22 ක් හිමිවේ. නැගෙනහිර මුළු ආසන සංඛ්‍යාව 37කි. මේ අනුව තීරණාත්මක සාධකය වනුයේ ශ්‍රීලංකා මුස්ලිම් කොංග‍්‍රසයයි. ඡුන්ද ප‍්‍රතිඵල නිකුත් වීමත් සමග ජනාධිපති උපදේශක සජින් වාස් ගුණවර්ධන මහතා ජනාධිපතිගේ විශේෂ ලිපියක් රැගෙන කොළඹදී  මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හමුවී පැයකට වැඩි කාලයක් සාකච්ඡා කෙළේය. සම්බන්දන් මහතාද ඔහුට දුරකථනයෙන් කතාකැර කොන්දේසි විරහිතව කි‍්‍රයා කරමුයි යෝජනා කැර ඇත. හකීම් මහතා දෙපාර්ශ්වයටම පවසා ඇත්තේ සඳුදා නැගෙනහිරදි පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය හමුවීමෙන් පසුව වචනයක් දෙන බවයි.