සම්පන්දන්ට ගෙයක්-වාහන-සේවකයන් දුන්නේ රටේ අවශ්‍යතාව අනුවයි


( +++ අංජුල මහික වීරරත්න)

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාට නිවෙසක්, වාහන දෙකක් සහ සේවකයන් පස්දෙනකු දුන්නේ රටේ අවශ්‍යතාව සහ යුගයේ අවශ්‍යතාව අනුවයැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

 

ඔහු මෙසේ පැවැසුවේ ටී.එන්.ඒ. නායකයා ලෙස සම්පන්දන් මහතාට නිවෙසක් ඇතුළු අදාළ වරප්‍රසාද දීමේ පදනම කුමක්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රංගෙ බණ්ඩාර මහතා මෙසේ ද කීය.

“රටේ හා යුගයේ අවශ්‍යතාව අනුව අප කටයුතු කර තිබෙනවා. ඒ තීරණය ගන්නා විට රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක්වෙලයි ආණ්ඩු කළේ. අපිට සංහිඳියාව අවශ්‍යයි. සංහිඳියාවෙන් තොරව කටයුතු කළොත් වැඩි කල් නොගොස් යුද්ධවලට මුහුණ දෙන්න වෙනවා.

ආර්. සම්පන්දන් යනු ජන කණ්ඩායමක් නියෝජනය කරන නායකයෙක්. එතුමා අතිවිශාල ප්‍රදේශයක් සහ ජනතාවක් නියෝජනය කරනවා. සියලු ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම පවතින රජයේ යුතුකමක්.” යැයි පාලිත රංගෙ බණ්ඩාර මහතා කීය.