වෘත්තිය සමිත ක්‍රියාකාරිකයකු වන සමන් රත්නප්‍රිය සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබන 05 වැනිදා දිවුරුම් දීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට සමන් රත්නප්‍රිය සිල්වා මහතා පත් කරන්නැයි එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට කළ දැනුම් දීමකට අනුව අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම මගින් නිකුත් කර තිබිණි.
1993 වසරේදී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් ලෙස වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ කටයුතු ආරම්භ කරන රත්නප්‍රිය මහතා 1997 දී රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පත්වෙයි. එමෙන්ම 1998 වර්ෂයේදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ උප සභාපතිත්වයට පත්වන ඔහු, 1999 වර්ෂයේදී එහි සභාපති ලෙසද පත් විය.
2002 වර්ෂයේදී වෘත්තීය සමිති මහා සම්මේලනයේ සභාපතිත්වයට පත්වන රත්නප්‍රිය මහතා, 2006 වර්ෂයේදී , ‘අගෝස්තු 04 ව්‍යාපාරය‘ ආරම්භ කරමින් එහි කැදවුම්කරු ලෙස කටයුතු කළේය.
මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් අරාම්භ කරන සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයෙහි ප්‍රධාන කමිටු සාමාජික ලෙසද ඔහු කටයුතු කරන අතර, 2014 වර්ෂයේදී මැතිවරණ වෙනසක් වෙනුවෙන් පිහිටවූ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ලෙසද කටයුතු කිරීම විශේෂත්වයකි.
මේවන විට රත්නප්‍රිය මහතා සිවිල් සංවිධාන වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ලෙසත්, ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ලෙසත් කටයුතු කරමින් සිටියි. හෙද ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු බලපිටිය රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

