සමගි ජන බලවේගය එජාපය දියාරු කරන බලවේගයක් නොවේ


(නිමල කොඩිතුවක්කු)
 
සමගි ජනබලවේගය යනු කිසිවකුත් පිම්බීමට හෝ  එක්සත් ජාතික පක්ෂය දියාරු කරන බලවේගයක් හෝ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹදී පැවසීය.
 
ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනපීඩිත ආණ්ඩුව පලවා හැර ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මෙම බලවේගයේ අරමුණ බවත් පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා නොවැම්බර් 16 වැනිදා රටට සිදුවූ  වින්නැහියෙන් රට බේරාගන්නා බවද සඳහන් කළේය.
 
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ  අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව  පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා :
 
“මේ දවස්වල ලෝකෙම තියෙන්නේ කොරෝනා. මේ ආණ්ඩුවටත් කොරොනා හැදිලා වගේ තත්ත්වයක් තමයි දක්නට තිබෙන්නේ. නිරෝධායන  මධ්‍යස්ථානවලට රුපියල් 7500ක්  අය කිරීමට මේ රජය සැලසුම් කරලා තිබුණා.  චිනයේ ඉඳන් දරුවො සංදර්ශනයක් පෙන්වන  ආකාරයට ගෙන්නුවා.  රට රැකපු විරුවා දැන් රටට විදේශ  විනිමය එවපු මිනිස්සුන්ගෙන් ගාස්තු අයකිරීමට කටයුතු කරලා තියෙනවා. 

නොවැම්බර්  16න් පස්සේ විනාඩියෙන් විනාඩිය මේ බයිලා කාරයන්ගේ  ඇත්ත  යතාර්ථය රටට හෙලි වෙමින් තිබෙනවා. දැන් නාමල් බේබි ඉස්සර  වගේ පන්සල් වල තීින්ත ගාන්නේ නැහැ. බයිසිකල්  පදින්නේ නැහැ. කල්දේරං කරේ  තියාගෙන යන්නේ නැහැ. දැන් ආයිත් ඩිෆෙන්ඩර් වලින් වටකරගෙන යනවා.  අර  69 ලක්ෂයට සතුටුයිද දැන් කියලා තමයි අහන්න වෙන්නේ.

තක්කාලි ගෙඩියෙ  ඉදන් රතුලූනූ ගෙඩිය දක්වා රාජපක්ෂලාගේ  වියදම නිසා අද ලංකාවේ මිනිස්සු සතුටින් ඉන්නවද කියලා අහන්න ඕන.මේ ආණ්ඩුවට එරෙහිව  අපි සමගි ජනබලවේගය ගොඩනගලා තියෙනවා. සමගිය කියන්නේ මේ පක්ෂයේ  සමගිය නෙමෙයි. මේක දිහා රතුපාට, නිල්පාට, කොළපාට  කන්නාඩි වලින් බලන්න එපා. මේ ආණ්ඩුවෙන් වෙච්ච  විනාශය වෙනුවෙන් අපි සියලු දෙනා සමගි විය යුතුයි.

අපේ ආණ්ඩුවේ තිබුනු යම් යම් අඩුපාඩු සහ මාධ්‍යයට  පින්සිද්ධ වෙන්න රටේ  විශාල භීෂනයක් ඇති බවට ජනතාවට  පෙනිගියා. දැන් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල විශාල වහයෙන් පහත වැටෙමින් තිබෙනවා. රනිල්, සජිත් එකට නැත්තේ කියන එක නෙමෙයි  ඇයි මේ ආණ්ඩුව තෙල් මිල අඩුකරන්නේ  නැත්තෙ කියලා  මාධ්‍යයෙන්  පෙන්වන්නේ නැත්තේ ඇයි කියලා අපි අහනවා. අපේ ආණ්ඩුවේ වගේ එදා තෙල් මිල අද තෙල් මිල  ගැන සෙග්මන්ට් හදන්නේ නැත්තේ ඇයි කියලා අපි මාධ්‍යයෙන් අහනවා.
 
මිල සූත්‍රය අනුව  අද ඩීසල් රුපියල් 57ට එන්න ඕන. පෙට්‍රාල්  හැත්තගානට එන්න ඕන. මාධ්‍යයට  ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න විශාල වගකීමක් තියෙනවා.දැන් අපේ කාලේ වගේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න, ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන්න මාධ්‍යයට හැකියාවක් නැහැ. දැන් මාධ්‍යයේ අත් බැදලා,  කටවල් වහලා. මේක නෙමෙයිද රාජපක්ෂලාගේ  කාලේ ඕන වෙච්ච දේ.
 
මිනිස්සු අහනවා ඇයි මාධ්‍යයේ පේන්න නැත්තේ කියලා.  ඇවිල්ලා වැඩක් නැහැ. මේවා මාධ්‍යයේ යන්නේ නැහැ. අපි ගමින් ගමට ගිහින් කොහොම හරි අපි ගේම ගහනවා.  සමගි ජනබලවේගය විදියට ගන්න පුලුවන් උපරිම මන්ත්‍රීධුර ගාන අපි ගන්නවා. එදාට ඔය බයිලා කාරයොන්ට උත්තර ලැබේවි.කඬේට ගියහම පාරට බැස්සම, ත්‍රිවිල් එකකට නැග්ගම මින්සුන්ගෙන් ඇහෙන්නේ අදෝනාවල්. මේ කාලේ විපක්ෂයේ ඉන්න ලැබීම ගැන මටනම් බොහෝම සතුටුයි. මේ කාලයේ  අපි විපක්ෂයේ ඉඳීම  තුල තමයි ජනතාවට සත්‍යය අවබෝධ වන්නේ.  මේ වෙලාවේ අපේ ආණ්ඩුවක් නම් තිබුණේ හන්දිවල අපිව එල්ලනවා.

බැලුම්  කතා කියලා, වයිෆයි කතා කියලා අපිව එල්ලපු මාධ්‍ය  රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දේ මේ ආණ්ඩුවේ  එකෙක්ට ගහනවා දැකලා තියෙනවද?
මේ සමගි ජනබලවේගය කියන්නේ කාවවත් පුම්බන්න හදන බලවේගයක්වත් එක්සත් ජාතික  පක්ෂය දියාරු කරන බලවේගයක්වත් නෙමෙයි. අපි හොද යූ. එන්. පී කාරයො.  මේ රටට අවංකවම පිරිසිදු  දේශපාලනයක් වෙනුවෙන් බලවේගයක් හදලා  ඒකේ ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් එයලා යූ. එන්. පී නෙමෙයි.

පක්ෂ කාර්යාලයේ අලියෙක්  තියාගෙන එතන ඉන්න පුලුවන්. හැබැයි  හදවතේ යූ. එන්.  පී කාරයේ කවුද කියලා රටේ ජනතාව දන්නවා. යූ. එන්.  පී කාරයන්ගෙන්  රටට වෙන්න ඕන යුතුකම තමයි අපි මේ කරන්නේ. මේ සඳහා පාට,  පක්ෂ බේදයකින් තොරව,  දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුලු විශාල කණ්ඩායමක්  අපිත් එක්ක එතුවෙලා ඉන්නවා.

දැන් බලන්න  දයාසිරි මහත්තයගේ අදෝනාව. දැක්කම කොච්චර දුක හිතෙනවද? අපිට  පේනවා මේක ඇතුලේ තියෙන අර්බුද ඕන තරම්. ඒ විතරක්  නෙමෙයි අයියලා මල්ලිලාගේ අර්බුදත් තව ටික දවසකින්  එළියට එනවා.
 
අපිට මේ වෙලාවේ තියෙන්නේ  නොවැම්බර් 16 වැනිදා රටට වෙච්ච වින්නැහියෙන් රට බේරාගන්නයි. එදා ඇන්තනීලා වෙඩිකෑවේ භූමිතෙල් මිල අඩුකරගන්න ගිහිල්ලා. අද මිනිහෙක් මේ ආණ්ඩුවට විරුද්ධව පාරට බහිනවද නැහැ.  මොකද අද මේ රටේ  නොදකින භීෂණයක් තියෙනවා. මේ භීෂණය ආරම්භ වන්නේ මාධ්‍යයෙන්.
 
මුලින්ම  පාරට හමුදාව දැම්මා. දැන් මුලු රටහම හමුදාකරණය වෙමින් තිබෙනවා.  බිග් මැච්වල වරෙන්තු තියෙන මිනිස්සු ආරක්ෂක ලේකම් එක්ක  ඉන්නවා  මාධ්‍යයෙන් පෙන්වනවා. නමුත් අල්ලගන්න  කොන්දක් නැහැ. එතකොට මේ රටේ ආරක්ෂාව හොදට තියෙනවා කියලද කියන්නේ.
 
'රට රකින විරුවා - ඔබයි අපේ මිතුරා' කියලා කිව්වට දැන් ඒක හතුරා  වෙලා තියෙනවා. රටේ මිනිස්සු 69 ලක්ෂයක්  ඡන්දය දුන්නට ඒ 69 ලක්ෂය හිතුවේ නැහැ මේක ඇතුලේ මේ වගේ රකුසො ඉන්නවා කියලා. මේ රකුසන්ගෙන් රට බේර ගන්න අපිත් එක්ක එකතුවෙන්න කියලා රටේ ජනතාවට අපි ආරාධනා කරනවා'' යැයිද ඔහු එහිදි පැවැසීය.