සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම 10 දා


(අප්සරා යෝසිත් විජේසූරිය)
 
සබරගමු මහ සමන් දේවාලයේ දී සැප්තැම්බර් 10 වැනි දා කප් සිටුවීමේ චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු  2018 වාර්ෂික ඇසළ මහා පෙරහර කටයුතු ආරම්භය සිදුවන බවත් මෙවර ඇසළ මහා පෙරහර අති උත්කර්ෂවත්ව පැවත්වීමට කටයුතු සම්පාදනය වී ඇති බවත්  සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේය. 

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ අගෝස්තු 24 වැනි දා පස්වරුවේදී පැවති මහ සමන් දේවාලයේ 2018 වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී  සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා මෙසේ පැවසුවේය. 


ආගමික චාරිත්‍රානුකූලව සබරගමු මහ සමන් දේවාලයේ දී සැප්තැම්බර් 8 වැනි දා මහා සංඝරත්නය විසින් සිදුකරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, සහ පසුදින එනම් 9 වැනි දා උදෑසන මහා සංඝරත්නය වෙත පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාවෙන් පසුව, සැප්තැම්බර් 10 දිනදී  සබරගමු මහ සමන් දේවාල භූමියේ දී සම්ප්‍රදායානූකුලව කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකර, එදින සිට මෙවර සබරගමු මහ සමන් දේවායේ වාර්ෂික  ඇසළ පෙරහර කටයුතු ආරම්භ කෙරෙන බව එහිදී බස්නායක නිලමේවරයා පැවසීය.


එහිදී සබරගමු මහ සමන් දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මහා පෙරහර කටයුතු පැවත්වෙන ආකාරය සම්බන්ධව  දින කාලසීමාවන් සහිතව බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා මෙසේ විස්තර කළේය.


මෙවර සබරගමු මහ සමන් දේවාලයේ සැප්තැම්බර් 10 වැනි දා පස්වරුවේ දී  කුඹල් පෙරහර දේවාල භූමියේ විදී සංචාරය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 10 දින සිට 15 දක්වා කුඹල් පෙරහරත් පැවත්වෙනවා.  සැප්තැම්බර් 16 දින සිට 20 දින දක්වා දෙවොලේ පෙරහරත්, 21 දින සිට 25 දින දක්වා මහා පෙරහරත් පැවැත්වීම සිදුවනවා. පෙරහර චාරිත්‍ර සම්ප්‍රදායානුකූලව  සැප්තැම්බර් 26 පෙරවරුවේ දී දියකැපීමේ ගඟේ පෙරහර කොටාඹේ තොටුපළින් ආරම්භ වී මල්වල ප්‍රදේශයේ කළු ගඟේ දියකපන ස්ථානය  දක්වා  ගමන්කර එම චාරිත්‍ර නිමවා ආපසු,  එදින දහවල් පෙරහරින් සමන් දේවාලය වෙත ගමන් කර, දේවාභරණ තැන්පත් කිරීමෙන් පසුව පෙරහර  කටයුතු  නිමාව සනිටුහන් කිරීමට නියමිතය. 


එසේම සැප්තැම්බර් 10 වැනි දා පෙරහර කාලසීමාවේදී තාවකාලික කඩබිම් වෙළඳකුටි පිළිබඳ ටෙන්ඩර් විවෘත කිරිම සිදුකරන බවත් එහිදී හෙතෙම පැවසුවේය.