සප්ත ස්වරයේ අසිරිය මවන ‘වියපත් බඹරා’


හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න.

අමරසිරි පීරිස්

ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ හැඟුම්බර හඬ දෙසවන සිපගනියි. මීදුම් රොටුවෙන් වැසී ගත් හන්තාන කඳු මුදුනට පායන පුර සඳ පේරාදෙණිය සරසවි බිමේ කිසියම් නේවාසිකාගාරයක හුදෙකලා වූ යුවතියකට පෙනෙනු ඇත්තේ බොඳ වූ ලෙසකින් විය යුතුය. එහෙත් හැමදාමත් මීඳුම් රොටුව හන්තාන වැළඳ ගන්නේ නැත. එබැවින් සරසවි ජීවිතයේ කිසියම්ම දවසක හන්තානට පායන සඳ ඇය දැකගනු ඇත. ඒ පුරහඳ අතිශයින්ම අලංකාර විය යුතුය. මම ද අහස බලමි. එහෙත් මට පෙනෙන්නේ කොළඹ ආනන්දයේ කුලරත්න ශාලාවේ සිවිලිම පමණි. මා මේ සිටින්නේ ”සදානන්දය” නම් වූ ගීත ප‍්‍රසංගය, නරඹමින් බව මට අමතකව ගොසිනි. අමරසිරි පීරිස් නම් වූ ගායන ශිල්පියා ඔහුගේ භාවාත්මක හඬින් මා හන්තාන කරා රැගෙන ගොසිනි. ඔබ ආයෙමත් ඇවිදින් හිත හදා ගත්තා විතරමයි ඔබ ආයෙමත් ඇවිදින් ඔහුම යළිත් ගයන්නේය. බොහෝ කලකට පසුව ගෙවී ගිය දවසක මුණ ගැසුණු ඇගේ රූපකාය හිතේ මවාගෙන මම යළිත් දැහැන්ගත වෙමි. ඉනික්බිති ඔහු ගැයුවේ මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන් වත් නොපතන කුමරා කියාය. එකී ගී පද තුනෙහිම රචකයා වන ධම්මික බණ්ඩාර මට ඉදිරියෙන් වාඩිවී සිටියේය. කුලරත්න ශාලාවෙන් නික්ම නිවෙසට එන කාලය පුරාවටම මා ජීවත්වූයේ හන්තානෙන් ආයෙමත් ආ යුවතියත් සමගමය. අමරසිරි පීරිස් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් නොපවත්වන්නේ ඇයි යන ප‍්‍රශ්නය මගේ හිතේ වද දුන්නේ ඉනික්බිතිවය. එහෙත් ඒ ප‍්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ගෙනෙමින් අමරසිරි පීරිස් නැවත වතාවක් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් පවත්වන්නට සූදානම්ය. ”සත්සැරි අසිරිය මගෙ මේ ඒක පුද්ගල ප‍්‍රසංගයේ නමයි. ඒ කියන්නේ සප්ත ස්වරයේ අසිරිය. මේ නම මට හදල දුන්නේ අරිසෙන් අහුබුදු ශූරීන්.” අමරසිරි පීරිස් තම නවතම ගීත ප‍්‍රසංගය පිළිබඳව මා සමග දොඩමලූ වෙයි. ”සත්සැරි අසිරිය ගී ප‍්‍රසංගයක් වාර පහලොවක් පමණ පැවැත්වුවා. ඒත් මේ වගේ ප‍්‍රසංගයක් තනිවම හිතුමතේට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හින්ද මමම ඒ ප‍්‍රසංගය අත් හැරල දැම්මා. ඒත් දැන් වසන්ත රෝහණගෙ ලොකු පෙළඹවීමක් මත ආයෙමත් මේ ප‍්‍රසංගය පවත්වන්න මං තීරණය කළා. දැන් මට සහයෝගයට කණ්ඩායමක් ඉන්නවා. අනිත් පැත්තෙන් මේ වගේ සුභාවිත ගීත ප‍්‍රසංගයක අවශ්‍යතාවය දැන් තදින් මතුවී තිබෙනවා. අපි මේ වගේ ප‍්‍රසංගයක් නොතියා හිටියොත් සුභාවිත ගීතය ඉතා ඉක්මණටම පිරිහිලා යන බව අප තේරුම් ගත යුතු දෙයක්. ඉතින් ලබන සෙනසුරාදා මහනුවරින් ආරම්භ කරන සත්සැරි අසිරිය රටපුරාවටම අරන් යන්නයි මගේ බලාපොරොත්තුව.  

කිංස්වුඞ් විද්‍යාලීය 94 ආදිශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන විශාරද අමරසිරි පීරිස් සත්සැරි අසිරිය ”හන්තානට සඳ” ප‍්‍රසංගය මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදී අගෝස්තු 25 සෙනසුරාදා සවස 6.30ට

  අමරසිරි පීරිස් ඔහුගේ ජනප‍්‍රියම ගීතාවලියට මෙම ප‍්‍රසංගයේ දී පණදීමට බලාපොරොත්තු වෙයි. ඔහු සංගීත ජීවිතය ආරම්භ කළේ ගුවන් විදුලියේ වයලීන වාදකයකු ලෙසිනි. ඉනික්බිතිව එකල අතිශය ජනප‍්‍රිය වූ ඒකපුද්ගල ගී ප‍්‍රසංග ගණනාවක වයලීන වාදකයකු ලෙස කටයුතු කළේය. පණ්ඩිත් අමරදේවයන්ගේ ශ‍්‍රවණ ආරාධනා මෙන්ම ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද නන්දා මාලිනිය වැනි ශිල්පීන්ගේ ඒක පුද්ගල ගී ප‍්‍රසංග රැසක වයලීන වාදකයකු ලෙසින්, ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක පැවතිය යුතු ප‍්‍රාසාංගික ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබාගත්තේය. ඔහු ගායකයකු වීමට කවදාවත් සිහින මැව්වේ නැත. සංගීත ලෝකයට පිවිස වසර විසිපහකට පමණ පසු එකෝමත් එක දවසක ඔහුට ගායන වරම් හිමිවිය. ”මට ඒ අවස්ථාව ලබාදුන්නේ කේමදාස මාස්ටර්... අමරසිරි මේක කියනව බලන්න කියල මට ලඳුනේ ගීතය දුන්නා ඉතිං මං ගායනා කළා. ගීතය සාර්ථක වුණා. ඊට පස්සෙ චිත‍්‍රපටවල, ටෙලි නාට්‍යවල ගීත ගායනා කරන්න අවස්ථා ලැබුණා. හැබැයි මං ගොඩාක්ම ජනතාව අතරට ගියේ ඔබ ඇපල් මලක් වගේ ගීතයෙන්. අමරසිරි පීරිස් අතීතය සිහිපත් කරන්නේ සතුටිනි. මේ වනවිට ඔහු වඩාත්ම ජනප‍්‍රියව ඇත්තේ වියපත් බඹරා, හන්තානට පායන සඳ හා ඔබ ආයෙමත් ඇවිදින් යන ගී ත‍්‍රිත්වය හරහාය. ඒ ගී වලින් එකක් හෝ ප‍්‍රචාරය නොවන දවසක්, ප‍්‍රචාරය නොවන ගුවන් විදුලි නාලිකාවක් නැති තරම්ය. අමරසිරි පීරිස් ඒ තරමටම ජනප‍්‍රියය. ඔහුගේ ගීතාවලිය ඒ තරමටම ජනප‍්‍රියය. ඉතින් මේ ගීතාවලිය රස විඳින්නට රසිකයනට ලැබෙන අවස්ථාව මහඟු අවස්ථාවක් බව නොලියා සිටිය නොහැකිය. නාලක අංජන කුමාර හා සුසිල් මුණසිංහ සංගීත අධ්‍යක්ෂණයෙනුත්, නිරෝෂා විරාජිනී උරේෂා රවිහාරි හා ජනනි පීරිස් යුග ගායනයෙනුත් වසන්ත රෝහණ ගේ පිටපතින් සහ කථනයෙනුත් විචිත‍්‍ර වන සත්සැරි අසිරිය රැගෙන එන ගාන්ධර්වයාණනි, ඔබ ආයෙමත් ඇවිදින්ය. ලස්සන වසන්ත කාලයක පිපි ඇපල් මලක් වන් සත්සැරියක අසිරියක් රැගෙන ඔබ ආයෙමත් ඇවිදින්.
සටහන -  ශාන්ත කුමාර විතාන