සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු 4 කගේ වැඩතහනම්


(යොහාන් භාසුර)

සතොසට සතුව තිබූ රුපියල් ලක්‍ෂ 150 කට අධික වටිනාමින් යුත් සුදුළුණු කිලෝ 56,000 ක් නීතිවිරෝධී ලෙස වෙනත් පාර්ශවයකට අළෙවි කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සතොස මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් සිවුදෙනකුගේ වැඩතහනම් කළ බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා 'ලංකාදීප'යට පැවසීය.

වැඩතහනම් කළ පුද්ගලයන් සිවුදෙනා අතරට සතොස මූලස්ථානයේ කළමණාකරුවෙක් ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු සහ වැලිසර තොග ගබඩාවේ නිලධාරීයකු සිටින බවත් වැඩතහනමට ලක්වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සතොස සේවයෙන් ඉවත්ව සිට මෑතකදී නැවත සේවයට සම්බන්ධ වූ පුද්ගලයකු බවත් සභාපතිවරයා කීය.

සිද්ධිය වූ වාහාම මෙම පුද්ගලයන් සිවුදෙනා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව කී සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සතොස අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වී පරීක්‍ෂණ අවසන් වන තෙක් වැඩ තහනම් කළ බව සඳහන් කළේය.

රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට සහන මිලට සැපයුමට සතොස අළෙවිසල් ජාලයට භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලංකා සතොසට ලබාදුන් සුදු`ඵණු බහලුම් දෙකක් මෙම පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් පසුගියදා වෙනත් පාර්ශවයකට මෙසේ අළෙවිකර තිබුණි.