
(ඩයනා උදයංගනී)
එළඹෙන සති අන්තයේ ලැබෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් ගම් බිම් කරා යන සහ නිවාඩුවෙන් පසු යළි පැමිණෙන ජනතාව වෙනුවෙන් අනිද්දා (31) සිට විශේෂ දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ කොටුව සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් අනිද්දා (31) සහ ලබන මස 3 යන දිනවල රාත්‍රී 7.30 ට ගමන් ආරම්භ කරන අතර එම දුම්රිය පසුදින අළුයම 1.33 ට නානුඔය දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය.
කොළඹ කොටුව සිට මහව, අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියක් අනිද්දා (31) සහ ලබන 02 සහ 04 දිනවල ධාවනය කෙරෙන අතර එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සවස 6.00ට පිටත් වී රාත්‍රී 10.30ට අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවනු ඇත.
කොළඹ කොටුව සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රියක් ද මරදාන දුම්රිය ස්ථානයෙන් අනිද්දා (31) රාත්‍රී 7.00ට පිටත්වන අතර එය රාත්‍රී 11.23ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළඟා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එසේ ගම්බිම් කරා ගොස් යළි පැමිණෙන පිරිස් වෙනුවෙන් ලබන 1 සහ 4 දිනවල නානුඔය සිට විශේෂ දුම්රියක් උදෑසන 8.10ට ගමන් ආරම්භ කරන අතර එය සවස 2.49ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන බවත්, අනුරාධපුරය සහ මහව සිට ලබන 1,3 සහ 5 දිනයන්හි අළුයම 3.00ට දුම්රියක් ගමන් ආරම්භ කරන අතර එය උදෑසන 7.46 වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
බෙලිඅත්ත සිට මරදාන දක්වා විශේෂ දුම්රිය 1 වැනිදා උදෑසන 6.45ට ගමන් අරඹන අතර එය උදෑසන 10.57ට කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමට නියමිත බව ද ඔහු කීවේය.
කොළඹ සිට නානුඔය දක්වා සහ නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන්හි කලින් ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් පවතින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

