සජින් ද වාස් 12 වැනිදා දක්වා රිමාන්ඩ්


(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වීම හේතුවෙන් ඔහු ලබන මාර්තු මස 12 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (27) නියම කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට ඒ මහතාට චෝදනා එල්ල වී තිබේ.

වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට නීතීපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා සම්බන්ධ නඩු විභාගයේ සාක්කි විමසීම ආරම්භ කළ පසු පැමිණිල්ලේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල වී ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා රිමාන්ඩ් බාරයට පත් කිරීමට විනිසුරුවරයා නියම කළේය.