සජිත්ට - රංජිත්ට මාර්තු 31 තෙක් කල් දෙයි


(මනෝප්‍රිය ගුණසේකර)

සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන මාර්තු 31 වැනිදා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය  නියෝග කළාය.

වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයන්ට සමගි ජන බලවේගය ව්‍යවස්ථාව අනුව මෙම පක්ෂයේ තනතුරු දැරීමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.

සමගි ජන බලවේගය පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයකුට සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කරමින් ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු නම් කොට ඇත.