සංචාරකයන් ඇද බැද ගන්න බැසිල් පෙරමුණේ


දශ ලක්ෂ පන්දහස් හයසිය පහක් වු ගිය වසරේ වැඩිම සංචාරක ඉලක්කය පසු කරමින් ශ්‍රී ලංකාවට ආ රුසියා ජාතික සංචාරක යුවළක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ලැබුහ.

රුසියාවේ මොස්කව්  අගනුවර සිට පැමිණි  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  යු එල් 543 දරණ ගුවන් යානයෙන් ඊයේ  උදෑසන 6.25 ට ඔවුහු ආහ.

රුසියා ජාතික බෙලොවා ටාටියා සහ  ඇගේ ස්වාමිපුරුෂයා වන මිකාලෙව් විටලි  මහතා වෙනුවෙන්  ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය විසින් මෙරට ආකර්ෂණීය ස්ථාන නැරඹීම සදහා නොමිලේ සංචාරක චාරිකා තිළිණ පැකේජයක් පිරිනැමිණි.

 ඔවුන්ගේ මීළග ශ‍්‍රි ලංකා සංචාරය සදහා මෙය වලංගු වන අතර ඔවුනට දින හතක් මෙරට රැදී සිටිමින් සංචාරය කිරීමට මෙමගින්   අවස්ථාව හිමි වෙයි. රුසියාවේ ජනප‍්‍රිය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ශ‍්‍රී ලංකාවේ පිළිබදව විකාශය වූ  සංචාරක වාර්තා වැඩසටහනක් නරඹා මෙම දෙපල මෙරටට පැමිණ තිබුණි.

පසුගිය වසරේ මෙරටට පැමිණි  සංචාරකයින් ගණන 1,005,605 කි.  මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වීමටත් පෙර පසුගිය  වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව  ඉක්මවා යාම මෙරට සංචාරක කර්මාන්තය අත්කර ගනිමින් සිටිනා ප‍්‍රගතිය පෙන්නුම් කරණ බව  ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාශය කියයි.

ඔවුන් පවසන පරිදි  මේ වසර තුල සංචාරක ක්ෂේත්‍රයෙන් අපේක්ෂිත ආදායම ඇමරිකා ඩොලර් කෝටි 150 කි.  

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක කරන ලද ජාත්‍යන්තර සහ දේශීය ප‍්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් සංචාරක ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාව පිළිබද සුබවාදී පණිවුඩය ජාත්‍යන්තර තලයට  ගෙනයාමට හැකි වී ඇති බවත් කාර්යාංශය කියයි. 

ඒ අනුව චීනය,රුසියාව,ජපානය,ඉන්දියාව, දකුණු කොරියාව සහ මැද පෙරදිග  රටවල් සංචාරක කර්මාන්තයේ නැඟි එන වෙළදපළ රටවල් ලෙස හඳුනාගෙන ඇති බවත් කියති.