සංගක්කාර ජනප‍්‍රියම - වසරේ ක‍්‍රීඩක සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන දිනයි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී (2012) ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ප‍්‍රධානතම සම්මාන දෙක වන ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සහ ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක’ යන සම්මාන දෙකම හිමිකර ගත්තේය. ‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල අද (05) රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි. ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක එක ස්ථානයේ සිටින සංගක්කාර මෙම සම්මාන දෙකට අමතරව වසරේ ටෙස්ට් පිතිකරු ලෙස ද සම්මාන ලැබීය. රංගන හේරත් වසරේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකර ගත්තේය. මහේල ජයවර්ධන වසරේ එක්දින පිතිකරු ලෙස ද, ලසිත් මාලිංග වසරේ එක්දින පන්දු යවන්නා ලෙස ද, තිලකරත්න ඩිල්ෂාන් වසරේ දක්‍ෂතම එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබූහ. යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් වසරේ නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන වසරේ දක්‍ෂතම තුන් ඉදිරියව් ක‍්‍රීඩිකාවට හිමි සම්මානය හිමිකර ගත්තාය. සියැට් කැළණි හෝල්ඩින් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ටන්මේ අගර්වාර් මහතා විසින් කුමාර් සංගක්කාරට ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සම්මාන පිරිනමන ලද අවස්ථාව. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා මෙහි සිටියි.