ෂෝන් පොලොක්ගෙන් තිසරට උපදෙස්


පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ෂෝන් පොලොක්, අයි.පී.එල්. තරගාවලියේදී තමන්ට උපදෙස් දුන් බවත් ඒ අනුව පන්දු යැවීමෙන් සාර්ථකවීමට හැකි වූ බවත් තිසර පෙරේරා පවසයි. ඉන්දියාවට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේ වීරයා වූ තිසර, තරගයෙන් පසුව පැවැති මාධ්‍යහමුවේදී මේ බව පැවසීය. මෙම තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. එහිදී දකුණතින් වේග පන්දු යවන තිසර පෙරේරා සිය පළමු  ඕවර තුනේදී ලකුණු නොදී කඩුලූ තුනක් දවාගත්තේය. ෂෝන් පොලොක්ගෙන් ලැබුණු උපදෙස් පිළිබදව තිසර මෙසේ අදහස් දැක්වීය. ”ඔහු මට කිව්වා මගේ පන්දු යැවීමේ ඉදිරියව්වේදී පන්දුව අතහරින වෙලාවේදී මම ඉක්මනට නැගිටනවා කියලා. ඔහුගේ උපදෙස වුණේ පන්දුව අතින් අතහරිනකම් සාමාන්‍ය විදියට ඉදලා, පන්දුව තණතිල්ලේ පතිත කරන්න කියලා. ඒ ආකාරයට පන්දු යැවුවම පන්දුවේ මැස්ම හොඳින් තණතිල්ලේ වද්දන්න මට පුළුවන් වුණා”