ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්



(ටෝනි කරුණානායක)

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව  අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂකවරයාව ලබන 20 වෙනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (07)නියම කළේය.

කිලෝ 5ක් බරැති ක්ලේමෝ බෝම්බයක් , ටී-56 ගිනි අවි ඇතුළු තවත් ආයුධ රැසක් ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ නිවසක් පිටුපස සඟවා එම ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ එම සැකකරුගේ පුතුන් දෙදෙනාටත්, වාස් ගුණවර්ධන නැමැති සැකකරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකුටත් අයත් ඒවා බවට අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය හමුවේ චෝදනා ගොනු කර, අධිකරණය නොමග හැරීම සඳහා කටයුතු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා එම සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් අධිකරණය වෙත ලිඛිත දේශන ගොනු කළ අතර ඊට විරෝධය ඉදිරිපත් කරමින් පොලිසිය ලිඛිත දේසන අධිකරණය හමුවේ ගොනු කළේය.

එම ලිඛිත දේසන සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන්ට ඇප නියම කිරීමට බලයක් මහෙස්ත්‍රාත් අධිකරණයට නොමැති හෙයින් සැකකරුවන් දෙදෙනා තවදුරත් රිමාන්ඩ් බාරයට පත් කළේය.

වැඩ තහනම් කර ඇති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියේ උප පොලිස් පරීක්සක සුගත් මෝහන මෙන්ඩිස් නැමැති සැකකරුවන් දෙදෙනාව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.