ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය - සෞදි අරාබිය වෙත ගුවන් ගමන් අත්හිටුවයි


(ටී.කේ.ජී.කපිල )

කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව චීනයේ බීජිං , ෂැංහයි සහ ග්වැන්ෂෝ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙම මස 10 වැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඊට අමතරව සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිර්දේශ මත එරට වෙත යන ගුවන් ගමන් ද මාර්තු මස 15 වැනි දින සිට අප්‍රේල් මස 30 වැනිදින දක්වා අත්හිටුවා තිබේ.

මෙම තත්ත්වය වෙනස් වුවහොත් ගුවන් ගමන් අප්‍රේල් 30 වැනිදාට පෙර යළිත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.