ශ්‍රී ලංකාවේ සිටින චීන කම්කරුවන්ට ජනාකීර්ණ ස්ථානවලට නොයන්නැයි දන්වයි


 (  ජයන්ත සමරකෝන් )
නේවාසික වීසා යටතේ  වසරක කාලයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  ව්‍යාපෘතිවල සේවයේ නියුතු චීන ජාතිකයින්ට මාසයක පමණ කාලයක් පොදු  ස්ථානවල ගැවසීමට හෝ ජනාකීර්ණ ස්ථානවලට යාමට ඉඩ නොදෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව එම ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබේ.
 
නේවාසික වීසා ලබාගත් චීන ජාතිකයින් 10,000 කට අධික පිරිසක්  ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රවලට අයත් ව්‍යාපෘති 1800 ක පමණ සේවය කරන බවත් ඔවුන්ගෙන් 3,500 ක් පමණ  දැනට සිය අවුරුදු සැමරීම සඳහා චීනයට පිටත්ව ගොස් ඇතැයිද    ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා අද (02) පැවසීය.
 
චීනයේ සිට  ලෝකය පුරා පැතිර යන ‘කොරෝනා වෛරසය‘ තත්ත්වය  හේතුවෙන්  ශ්‍රී ලංකා  වැසියන්ගේ ආරක්ෂාව උදෙසා  මෙම පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය. සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටි චීන ජාතිකයින් බොහෝමයක් දැනට ආපසු චීනයට ගොස් අතැයිද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.