ශ්‍රී ලංකාවේ අවතැන්වූවන්ට ජාත්‍යන්තරයෙන් සහය


(හර්ෂණ තුෂාර සිල්වා)

අධික වර්ෂාව, ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය,ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා පාකිස්තානය කැමැත්ත පළ කර තිබේ.

ආපදා කටයුතුවලට සහාය වන්නැයි රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තරයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන් එලෙස සහය දැක්වීමට එකඟත්වය පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධිත ආයතන වන ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර අරමුදල සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ඇතුළු සංවිධාන සහන සැලැසීමේ,සම්බන්ධීකරණ කටයුතු හා ආධාර බෙදා දීමේ කටයුතු ආදිය කිරීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය නිවේදනය කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා එක්ව දිගින් දිගටම සහන සැලැසීම, මුදා ගැනීම ආදි කටයුතුවලට සහාය දක්වන  බව නිවේදනය කළේය.

පාකිස්තානය ද සහන කටයුතුවලට සහාය දක්වන බවත් ආධාර එවන බවත් මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය නිකුත් කර තිබිණි.

ආපදා කටයුතුවලට සහාය දක්වමින් කඩිනම් අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය දැනට ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 15 ක් මුදලක් ලබාදීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අත-උල් කෙශාප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි.

එමෙන්ම ඇමෙරිකාව සහන කණ්ඩායම් එවීමට කටයුතු කරන බව ද එහි සඳහන් විය.අවශ්‍ය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදෙන  බවත් ආපදාවලින් මියගිය පිරිස්වලට කනගාටුව පළ කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවැසීය.