ශ්‍රී ලංකාවට අරාබි මුහුද හරහා මත්ද්‍රව්‍ය එවනවා


(යොහාන් භාසුර)

විදේශගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේශීය යාත්‍රා සහ පුද්ගලයන් යොදාගෙන අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට නිරිත සහ දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ නියැලි සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන මහතා පැවසීය.

ජාවාරුම්කරුවන්ට සහයෝගය දක්වන ඇතැම් බහුදින යාත්‍රා හිමිකරුවන් සහ ධීවරයන් යොදාගෙන ඈත මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කරගෙන සූක්‍ෂමව රට තුළට ගෙන එන බව සඳහන් කළ රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන මහතා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන අද දින කොළඹ වරායට ගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 150 ක් පමණ ඇති බවත් සඳහන් කළේය.

මඩකළපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබූ බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට කිලෝමීටර 1500 පමණ දුර ජාත්‍යන්තර මුහුදේදී මෙම හෙරොයින් සහිත යාත්‍රාව සහ විදේශ ජාතිකයන් නවදෙනා පසුගිය 11 වැනිදා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොගය, පුද්ගලයන් නවදෙනා සහ යාත්‍රාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශණ කාර්යංගශයට බාරදුන්නේය.