ශ්‍රී ලංකාව මෑත භාගය තුළ ළමා ශ්‍රමය අවම කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන ඇත.
වයස අවුරුදු 5 -17 අතර ළමයින්ගේ ළමා ශ්‍රමය 2008/09 යේදී වාර්තා වූ සියයට 2.5 සිට 2016 වර්ෂයේ දී සියයට 1.0 දක්වා පහත වැටී ඇත.
ළමා ක්‍රියාකාරකම් ආශ්‍රිතව 2016 වසරේදී කළ සමීක්ෂණයක් මත පදනම්ව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2017 පෙබරවාරි මාසයේ දී නිකුත් කළ වාර්තාවක වයස අවුරුදු 5 -17 ත් අතර වයස් කාණ්ඩයේ ළමයින්ගෙන් 4,52,661ක් පාසල් නොයන බව සඳහන් කර තිබිණි. අදාළ සමීක්ෂණය කර ඇත්තේ සම්පූර්ණ ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි බවත් එය පාසල් යන, වැඩකරන, ළමා ශ්‍රමිකයන්, සෞඛ්‍ය තත්ත්වයන් සහ ජීවන සාධක ඇසුරින් දත්ත ලබාගෙන කළ සමීක්ෂණයක් බවත් එයින් පෙන්නුම් කරනුයේ පාසල් යන ළමයින් හා නොයන ළමයින් පිළිබඳ දළ අදහසක් පමණක් බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
සමීක්ෂණයට අනුව වයස අවුරුදු 5 සිට 17 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් මිලියන 4.6 ක් සිටින බවත් එයින් 50.5% (මිලියන 2.3ක් ) පිරිමි ළමයින් සහ මිලියන 2.26ක් ගැහැණු ළමයින් (49.5%) බවත් පෙන්වා දෙයි. ඒ අතර සිටින වයස අවුරුදු 5- 11 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් සංඛ්‍යාව 2,541,337 (55.6%) කි. 12 – 14 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් ගණන 1,069,478කි. 15 -17 දක්වා ළමයින් 960,627 (21%)ක් සිටිති.
අවුරුදු 5 – 17 දක්වා ළමයින් 4,571,442 කගෙන් 90.1%ක් (4,118,781) පාසල් යන අතර 452,661ක් පාසල් යන්නේ නැත. එම සියලු සිසුන් පාසල් ගමන නවතා ඇතැයි එයින් ගම්‍ය නොවේ. එයින් 52%ක් වන වැඩි ප්‍රතිශතය සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නන්ය. එම පිරිසෙන් බහුතරයක් ප්‍රතිඵල පිටවීමෙන් පසු යළි පාසල් අධ්‍යාපනයට යොමු වෙති. අනෙක් 17.2%ක පිරිස විධිමත් අධ්‍යාපනය ඉදිරියටම කරගෙන නොගිය ද වෘත්තීය පුහුණුව සඳහා යොමුවන්නෝ වෙති. අනෙක් 6.8%ක පිරිස මේ වනවිට පාසල් අධ්‍යාපනයට යොමු නොවූ අය වන්නේ ඔවුන් වසර 5 සම්පූර්ණ නොවූ අය වීමෙන් බව එම වාර්තා වේ දැක්වේ.
එමෙන්ම ඉහත වාර්තාවට අනුව වයස අවුරුදු 5 – 17 දක්වා වයස් කාණ්ඩයේ ළමයින්ගෙන් 51,249 දෙනෙක් විවිධ හේතූන් මත එම සමීක්ෂණය කරන කාලය අතරතුර පාසල් නොගය අය බව ද ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඔවුන්ගෙන් 60%ක බහුතරය පාසල් යාමට අවශ්‍ය වයස සම්පූර්ණ නොවීම හේතුවෙන් පාසල් නොගිය අය බවත් 7%ක පිරිසක් තමන්ට වඩාත් හොඳ පාසලකට ඇතුළත් වීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටි අය බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කරුණු පැහැදිලි කිරීම අනුව කිසිදා පාසල් නොගිය ළමා ප්‍රතිශතය වන 87%ක් වයස අවුරුදු 5ත් 11ත් අතර පසුවන්නෝ වෙති. ඔවුන් අතුරින් 69% ඒ වනවිටත් (2016) පාසල් සිසුන් නොවූයේ එම දරුවන් 2016 ජනවාරි මාසය වනවිට පාසලට ඇතුළත් වීමේ වයස සම්පූර්ණ කර නොතිබූ බැවිනි.

