ශ්‍රී ලංකාව ආරක්ෂිතයි - ජපන් රාජ්‍ය ඇමැති කියයි


වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි මෙරට නිල සංචාරයක නිරත වූ ජපානයේ කලාපීය පුනරුදය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා කොළඹදී පැවැසීය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ද ඔහු කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා ඒ බව කීවේය.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් එමෙන්ම ආර්ථිකය ගොඩනැගෙමින් තිබෙන බවත් පැවැසූ රාජ්‍ය අමාත්‍ය යමමොතෝ මහතා එවන් පසුබිමක ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී ඇතැයි ද කීය.

ආරක්ෂාව, යටිතල පහසුකම්, කර්මාන්ත සහ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ජපානය ප්‍රවීණත්වයක් උසුළන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම අත්දැකීම් සමඟ ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකියාව තිබෙන බව ද  කීවේය.

2015 ට පෙර මෙරට පැවති සියයට 7 ක ආර්ථික වර්ධන වේගය බිඳ වැටී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම හමුවේදී කීය. කඩා වැටුණු මෙරට ආර්ථිකය ගොඩනැගීම තමා හමුවේ ඇති ප්‍රධාන අභියෝගය බව ද ජනාධිපතිවරයා එහිදි පැවැසීය.

උසස් තාක්ෂණයෙන් යුත් එකලස් කිරීමේ කර්මාන්ත ආයෝජන අවස්ථා මෙරටට ලබාදෙන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි ජපන් රජයෙන් ඉල්ලීමක් කළේය. ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පිළිගනිමින් රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා පැවැසීය. 

(055)