ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිලට ක‍්‍රිකට් ආයතනය උදව් කළ යුතුයි


ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යටතට ගෙන විශේෂ පුහුණුකරුවකුගේ සේවය ලබාදෙන්නේ නම් මීටත් වඩා දස්කම් දැක්වීමේ හැකියාව ගොඩනගා ගතහැකි බව ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිලේ නායක චන්දන සූරිආරච්චි පැවසීය. ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැති දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් නැවත මව්බිමට පැමිණිමෙන් පසු කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී සූරිආරච්චි මෙසේ ද පැවසීය. ‘‘අපේ මූලික ඉලක්කය වු අවසන් පූර්ව තරගයට පැමිණීමට අපිට හැකිවුණා. අපිට කණ්ඩායමක් හැටියට පුහුණුවීම් ලබන්න බැරි වුණා. පළමු තරග හතර අපිට පුහුණු තරග වුණා. අපිට මීට වඩා පහසුකම් ලබා දෙන්නේ නම් ජයග‍්‍රහණ ලබන්නත් පුළුවන්’’ ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ සහභාගි වූ තරග නවයෙන් තරග හයක්ම ජය ලැබුවත් අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට පරාජය විය. ඡායාරූප : ජයමාල් චන්දසිරිලබන අපේ‍්‍රල් මස මුම්බායිහිදී පැවැත්වෙන ආසියානු කුසලාන දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ මීළඟ ඉලක්කය වන බව ද චන්දන සූරිආරච්චි පැවසීය. ‘‘මෙම තරගාවලිය අපි අතහැර දමා තිබූ තරගාවලියක් නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ඇතුළු බොහෝ දෙනකුගේ උදව්ව නිසා අපිට මෙච්චර දුරක් යන්න හැකිවුණා. ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග මහතා ක‍්‍රීඩාංගණයට පැමිණීම අපිට ලොකු ශක්තියක් වුණා’’ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චන්දන දේශප‍්‍රිය ශතක දෙකක් රැුස්කළේය. මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු වන දේශප‍්‍රිය පැවසුවේ කණ්ඩායම වැටී සිටි අවස්ථා දෙකකදී ශතක රැුස්කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බවත් එහිදී ඉන්දීය පේ‍්‍රක්‍ෂකයන් තමන්ට ‘ජයසූරිය’ යැයි පවසමින් උනන්දු කළ බවත්ය. මෙහිදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් සංගමයේ නිලධාරීන් පැවසුවේ මෙම තරගාවලියට සහභාගි වූ ඉන්දීය පිලේ ක‍්‍රීඩකයන් වෘත්තිය ක‍්‍රීඩකයන් බවත් පාකිස්තානු ක‍්‍රීඩකයන් පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය යටතේ ක‍්‍රීඩා කරන බවත්ය. මෙම සංචාරයට සහභාගිමට අවසර ලබාගැනීමේදී තමන් අපහසුතාවට පත්වූ බව දෘෂ්‍යාබාධිත ක‍්‍රීඩකයෝ පැවසූහ. කෙසේවුවත් මාධ්‍යයෙන් ලැබූණු සහයෝගය අමතක කළ නොහැති බවත් මින් මතු එවැනි අපහසුතා අපේක්‍ෂා නොකරන බවත් දෘෂ්‍යාබාධිත ක‍්‍රීඩකයෝ මෙම මාධ්‍ය හමුවේදී පැවසූහ. එහිදී ඔවුහු උදව් කළ සියලූ දෙනාට සිය ප‍්‍රමාණමය පළ කළහ.