ශ්‍රී ලංකා-කොදෙව් තරගාවලිය කල් දමන්නයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය ඉල්ලයි


ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොදෙව් දුපත්හිදී ලබන වසරේ මැයි මස පැවැත්වීමට නියමිත ක‍්‍රිකට් තරගාවලිය කල්දමන ලෙස ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කර තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක ශූරයන් සහ අනු ශූරයන් වන අතර කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් අයි.පී.එල්. තරගාවලියේ ප‍්‍රධානතම චරිතයකි.
මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වූ නමුත් අයි. පී. එල්. තරගාවලිය හේතුවෙන් මීට පෙර ටෙස්ට් තරග දෙක අතහැර දමන ලදි. අයි. පී. එල්. 2013 තරගාවලියේ කාලසටහන පසුගිය සිකුරාදා ඉදිරිපත් කළ අතර එයට අනුව මෙම තරගාවලි දෙක ගැටෙයි.
රටවල් දෙකේම ක‍්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන හෙයින් මැයි මස සංචාරය නැවත සකස් කෙරෙන බව බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය නිලධාරී ඉම්රාන් ඛාන් මහතා ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පතට පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ අදාළ වෙනස්කම් පිළිබඳව තමන්ට කිසිවක් දැනුම්දී නැති බවයි.