තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන රෙගුලාසි සංශෝධනය වීමෙන් පසුව ස්වාධීන නිලවරණ කමිටුවක් ස්ථාපිත කිරීම සිදු කරන බවත් ,ඊට විශ‍්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකු සහ මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් ඇතුළත් කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම අද (03) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කරන ලදී.
රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන් ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම ලබන නොවැම්බර් 30 වැනිදා සිට විභාගයට ගැනීමටද තීන්දු කරන ලදී.
පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ලබන ඔක්තෝබර් 5 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන්නැයි අභියාචනාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට අද නියෝග කළේය.
එම විරෝධතා සම්බන්ධයෙන් වන ප‍්‍රතිවිරෝධතා ඔක්තෝබර් 26 වැනිදා ගොනු කරන ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට නියෝගය කළේය.
ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම මීළඟ නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග මහතා ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක‍්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්, ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සුගත් කල්දේරා මහතා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා පෙනී සිටියේය. සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන කනග ඊස්වරන් , කාලිංග ඉන්ද්‍රතිස්ස , අලි සබ්රි ,සංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මරත්න සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා පෙනී සිටියහ.
පෙත්සම් ලබන නොවැම්බර් 30 වැනිදා යළි කැඳවේ.

