ශ්‍රී ලංකා ඔලිම්පික් පිලේ නායකයා නිලූක


එංගලන්තයේ ලන්ඩන් නුවරදී මෙම 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න පත්ව සිටියි. පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවී සිටින නිලූක එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිතය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ කුසපත් ඇදීමට සහභාගිවීම සඳහා නිලූක මෙම 23 වැනිදා ලන්ඩන් නුවර බලා පිටත්ව යන බවද වාර්තාවේ. ක‍්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනා අතරින් සිය දස්කම් අනුව ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවමින් ලන්ඩන් ඔලිම්පික් වරම් හිමිකරගත් පළමු ක‍්‍රීඩකයා ද නිලූක වේ. නිලූක සහ මැරතන් ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පරිසාධක මට්ටම ඉක්මවමින් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු ක‍්‍රීඩකයෝ වෙති. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක සිටින්නේ 30 වැනි ස්ථානයේය. පෝලන්ත පුහුණු කඳවුරට සහභාගිවෙමින් සිටියදී නිලූක පසුගියදා (7) ඇමරිකාවේ පැවැති ඇමරිකානු විවෘත බැඞ්මින්ටන් තරගාවලියට ද සහභාගිවිය. ඔහු පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. අර්ධ අවසන් පුර්ව වටයේදී නිලූක ශූරතාව දිනාගත් රුසියාවේ වැල්ඩිමීර් ඉවොනොව් හමුවේ පරාජය විය.