ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරීගේ-බිරිඳගේ බැංකු ගිණුම් ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10 ක් මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත්වලින් ආරම්භ කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාගෙන පරීක්‍ෂණ කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.
 
ඒ අතර මෙම සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයාට හා ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝගයක්ද නිකුත් කළේය.
 
මෙම සිද්ධියට අදාළව විමර්ශන කරන අතරතුර අදාළ සැකකරුවන් රටින් පිටවීමට ඉඩ ඇතැයි කියමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන්ට රටින් පිටවීම තහනම් කරමින් මීට පෙර අවස්ථාවක නියෝගයක් නිකුත් කර තිබු අතර එම නියෝගය ඉවත දමන්නැයි සැකකරුවන්ගේ පාර්ශවයෙන් කර තිබු ඉල්ලීම ඉවත් කරගැනීම නිසා රටින් පිටවීම තහනම් කරමින් පනවා ඇති නියෝගය බලාත්මක වේ.
 
මෙලෙස රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කොට ඇත්තේ මේ වන විට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට සිටින ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයතු කළ කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන ප‍්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මියටයි.
 
ප‍්‍රංශයේ Air Bus SAS සමාගම සමඟ 2013 මැයි මස 16 වැනිදා එළැඹි අවබෝධතා ගිවිසුමකට අනුව ශ‍්‍රී ලංකන් සමාගම ගුවන් සේවය ස`දහා A-330-900 ගුවන් යානා 04ක් සහ A-330-300 ගුවන් යානා 06ක් මිලදී ගැනීමේදී Air Bus SAS සමාගමේ මව් සමාගම වන EADS HQ - SSC FRANCE සමාගමෙන් ඇමරිකානු ඩෙලර් විසිලක්‍ෂයක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන් සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීට පෙර අවස්ථාවක රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කපිල චන්ද්‍රසේන මහතා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ 2011 අගොස්තු මස පළමුවැනිදාත් 2015 ජනවාරී මාසය දක්වාත් අතර කාලයේදී ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට හා මුදල් විශූද්ධිකරණය කල බව හෙළි වී ඇතැයි අධිකරණයට දැනුම්දී ඇති රහස් පොලිසිය අධිකරණයෙන් මීට පෙර අවස්ථාවක කළ නියෝගයට අනුව සැකකාර යුවළගේ ජාතික හැඳුනුම්පත් වලින් විවිධ බැංකුවල ආරම්භ කොට ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තා ලබාගෙන විමර්ශන සිදුකරන බවද දැනුම් දුන්නේය.
 
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිස් නිලධාරීන් සමඟ නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.