වෝහාරික විගණන වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට දී අවසන්


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනවලට අදාළ සියලූම වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (30) පැවැසීය.

මේ වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි වෝහාරික විගණන වාර්තාවේ ප්‍රසිද්ධ කළ හැකි කොටස් පාර්ලිමේන්තුවට බාරදුන් බව එහිදි පැවැසූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කතානායක කාර්යාලය පසුව කරන ලද ඉල්ලීමක අනුව අනෙකුත් සියලූ වාර්තා ද පාර්ලිමේන්තුවට දුන් බව කීවේය.

එහිදි වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසූ ප්‍රශ්න සහ ඔහු ඒවාට දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය : - වෝහාරික විගණන වාර්තාවට අදාළ කොටස් අඩුවෙන් ලබා දුන් බව කියනවා. ඇමුණුම් ලබා දී නැති බව ද කියනවා. ඒවා පර්ලිමේන්තුවට දීමට මහ බැංකුව පියවර ගන්නවාද?

පිළිතුර :- ඒවා සියල්ල පාර්ලිමේන්තු-වට බාර දී අවසන්.

ප්‍රශ්නය :- එහෙත් ඇතැම් කොටස් සහ ඇමුණුම් එහි නැතැයි පාර්ලිමේන්තුව සඳහන් කරනවා ?

පිළිතුර :- ඒ ගැන අහන්න ඕනෑ පාර්ලිමේන්තුවෙන්. අපේ පැත්තෙන් සියල්ල ලබා දී අවසන්. මහ බැංකුව මුලින්ම ප්‍රධාන වාර්තා ලබාදුන්නා. මේ වාර්තාවල රහස්‍යභාවය ආරක්ෂා කරන්නැයි නීතිපතිවරයා අපට උපදෙස් දී තිබුණා. ඒ නිසා අපි මුලින්ම ප්‍රධාන වාර්තා ලබාදුන්නා. ඉන් අනතුරුව කතානායක කාර්යාලය අපෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපි ඉතිරි කොටස් සියල්ල ද පාර්ලිමේන්තුවට බාරදුන්නා.

2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් වෝහාරික විගණන ආරම්භ කළේය.

ඒ අනුව වෝහාරික විගණන හයක් සිදු කරන ලද අතර ඉන් පහක කටයුතු පසුගිය නොවැම්බර් මාසය වනවිට අවසන් කරන ලදි. 1998 වසරේ සිට 2015 වසර දක්වා විටින් විට සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් එම වෝහාරික විගණන සිදු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

අවසන් කරන ලද වෝහාරික විගණනවල වාර්තා රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් නීතිමය බලයක් තිබෙන අධිකාරීන් වෙත පමණක් ඒවායේ වාර්තා නිකුත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් බව ද එම බැංකුව පසුගිය නොවැම්බර් මාසයේදී නිවේදනය කළේය.

ඒ අනුව ඉදිරි නීතිමය කටයුතුවලට බාධා නොවන පරිදි එම විගණන වාර්තාවල යම් යම් කොටස් මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම, 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත නිකුත් කරන ලද/ගනුදෙනු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු, 1998 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත සේවක අර්ථසාධක අරමුදල මගින් ලැයිස්තුගත කළ හා ලැයිස්තුගත නොකළ කොටස්වල කරන ලද ගනුදෙනා, 2015 පෙබරවාරි 01 දින සිට 2016 මාර්තු 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කිරීම සහ තෝරාගත් ප්‍රාථමික වෙළෙඳුන් සම්බන්ධයෙන් 2009 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී/බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද අධීක්ෂණ හා නියාමන කාර්යාභාරය යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ වෝහාරික විගණන පහ සිදුකරනු ලැබිණි.  

(ඡායාරූප - රුවන් වල්පොල)