වෛද්‍ය සිසුවිය ඝාතනය කළ හමුදා සෙබළා රිමාන්ඩ්


(සිතුම් චතුරංග)

යාපනය විශ්ව  විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යපනය ලද වෛද්‍ය  සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා වන යුද හමුදා සෙබළා පෙබරවාරි 6 වැනිදා දක්වා රික්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  යාපනය මහේස්ත්‍රාත් එස්.පීටර් පෝල් මහතා අද (23) නියෝග කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කිලිනොච්චිය , පරන්තන් යුද හමුදා කඳවුරේ වෛද්‍ය බළකායට අනුයුක්තව සේවය කළ තලවිල කන්දේගම බේරුවිල පදිංචි සෙබල මද්දුමගේ දොන් එරංග දිලීප් කුමාර (30) නැමැත්තාය.

සැකකාර යුද හමුදා සෙබලා සහ වෛද්‍ය සිසුවිය යාපනය, පන්නෙයි ව්‍යායාම මන්තීරුව අසල රැදී සිට ඇති බවත් දෙදෙනා අතර ඇතිවූ ආරවුලෙන් පසුව දහවල්   සෙබලා විසින් යාපනය විශ්ව විද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය ලද ශිෂ්‍යයාවගේ ගෙල කපා ඝාතනය කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

ඝාතනය වූයේ යාපනය විශ්ව විද්‍යාලයේ පීඨයේ අධ්‍යාපනය ලද  බදනාගොඩ ජනපදය , බේරුවල යන ලිපිනයේ පදිංචි හපුහෙට්ටිගේ දොන් රෝෂිණි කාංචනා නැමති වයස අවුරුදු 29  හැවිරිදි වෛද්‍ය සිසුවියකි.

ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධය ද යාපනය පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සැකකරු ඝාතනය සිදුකර පළා යන අවස්ථාවේ ප්‍රදේශවාසී තරුණයින් විසින් සැකකරු අල්ලා පොලිසිය වෙත බාර දී ඇත.

සැකකරු හා ජිවිතක්ෂයට පත්වු වෛද්‍ය සිසුවිය අඹු සැමියන් වන බවද පරීක්ෂණයන්ගෙන් තහවුරු වී ඇති බවද පොලිසිය පවසයි.

මියගිය වෛද්‍ය සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) යාපනය ශික්ෂණ රෝහලේ දී සිදුකෙරිණි.

යාපනය පොලිසිය හා අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.