වෛද්‍ය සංගමය සතියක් කල් දෙයි


අනුරාධපුර රෝහලේ දොස්තර චමිල් හේරත්ට ගිය සිකුරාදා අනුරාධපුර දහයියාගමදී පහරදුන් සංධාන දේශපාලන මැරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවත්, නිසි පරිදි පරීක්ෂණ පැවැත්වේදැයි සතියක් බලන බවත්, රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ උප ලේකම් දොස්තර නලීන් ආරියරත්න අනුරාධපුර රෝහලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. රෝහලට, එහි වෛද්‍යවරුනට හා නිල නිවාස නොමැති වෛද්‍යවරුන්ට ආරක්ෂාවක් නැතැයිද ඔහු කියා සිටියේය. ‘පොලීස් පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි. වෛද්‍යවරුන් අනාරක්ෂිතයි.‘ යනුවෙන්ද පැවසු උප ලේකම්වරයා පහරකෑමට ලක්වූ දොස්තර හේරත් තවමත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය ගැන ප්‍රකාශයක් කළ හැක්කේ අද සවස පමණ වන විටත් ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙක් රිමාන්ඩ්බාරයට පමුණුවනු ලැබ සිටිති. තමාගේ ඡන්ද ව්‍යාපාරයට මුද්‍රණය කළ ටී ෂර්ට් ඇඳගත් පිරිසක් තමා අපකීර්තියට පත්කිරීමේ ඡේතනාවෙන් කර ඇති බව පෙනෙන මේ පහරදීම හෙළා දකින බව උතුරුමැද හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මාධ්‍යයට කියා සිටියේය.