වෛද්‍ය ෂියාබ්දීන්ගේ නිවසේ සී.සී.ටී.වී.දෘඩ තැටිය සී.අයි.ඩීයට දෙන්න’යි නියෝග


( පුෂ්පකුමාර ජයරත්න )

වෛද්‍ය මෙහොමඩ් සාෆි ෂියාබ්දීන් මහතාට සම්බන්ධ නඩුවේ  විශේෂ නඩු භාණ්ඩයක්ව තිබූ  ඒ මහතාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් ඇතුළත් දෘඩ තැටි කොටස ජනවාරි  20 දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද(16)  සැකකාර  වෛද්‍යවරයාට නියෝග කළේය.

 පසුගිය වසරේ මැයි 24 වන දින කුරුණෑගල මූලස්ථාන පොලීසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  නඩු භාණ්ඩයක් ලෙස සැකකාර වෛද්‍යවරයාගේ නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් සහිත කොටස කුරුණෑගල පොලීසිය බාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර තිබූ බවද, නමුත් පෙර සිටි  නිලධාරියෙක් විසින් එය නැවත වෛද්‍යවරයාටම ලබා දීමේ සිදුවීම් මුල් කරගනිම්න්  යළි ඒවා සිය බාරයට ලබා දෙන්නැයි පවසමින් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
 
සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල පොලීසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමෙන් පසු සියලුම නඩු භාණ්ඩ සමග ලිපි ලේඛනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයට ගෙන තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.