වේරහැරදී වංචනිකව මුදල් ගත් හය දෙනා රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සේවා කටයුතු ඉක්මණින් ඉටුකර දෙනබව පවසා ජනතාවගෙන් වංචනිකව මුදල් ලබාගත් හයදෙනා අද (31) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ මාලඹේ පදිංචි 50 හැවිරිදි අතුල සුසන්ත ලියනගේ , බොරලැස්ගමුමේ පදිංචි 53 හැවිරිදි අනුර ප්‍රේමසිරි , බොරලැස්ගමුවේ පදිංචි 32 හැවිරිදි චමින්ද රත්නායක ,  මොරටුව පදිංචි 55 හැවිරිදි  බන්දුල ප්‍රේමකුමාර , කටුවාවල පදිංචි  43 හැවිරිදි ජගත් පෙරේරා සහ 32 හැවිරිදි ඉසුරු තිලංග යන අයවලුන්ය.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය හා නුගේගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් එක්ව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථ දෙපාර්තුමේන්තුවට විවිධ සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගෙන රස්තියාදුවකින් තොරව කඩිනමින් සේවාව ඉටුකරදෙන පවසා විවිධ මිල ගණන් යටතේ මොවුන් මුදල් ලබා ගෙන ඇතැයි පොලිසියට කරණු අනාවරණය වී තිබේ.

රුපියල් 3000 සිට 10.000 දක්වා විවිධ මිල ගණන් යටතේ රියදුරු බලපත්‍රයේ සිට එම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි සේවාවන් ඉතා කෙටි කාලයකදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හරහා ඉටු කර දිය  හැකි බව පවසා මෙම මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.