වේදිකාවෙන් රිදීතිරය ජයගත් නිළි රැජිණ
”මෙන්න බලාපල්ලා”
මාලිනිගේ ලොකු අයියා සවස නිවෙසට දුවගෙන ආවේ කලබලයෙනි. ඒ 1963 ජූනි 07 වැනිදා සවසය. චුට්ටෝ බට්ටෝ
නිවෙසේ ලොක්කෝ සියල්ලෝම ලොකු අයියා වටකර ගත්හ.
ඇයි? මොකෝ.... කෝ.... කෝ.... ඈ බොල මෙන්න අපේ එකී.... මාලිනි.... පත්තරය වට කරගත් සියල්ලන්ගේම දෙනෙත් ලොවි ගෙඩි මෙන් විසල් වී ඇත.
කැලණි කල්‍යාණි ලෙස කිරුළු පැළඳි මාලිනියගේ පින්තූරයක් සවස පත්තරේ පිටුවක පලවී තිබුණි. පවුලේ කෙනෙකුගේ ඡුායාරූපයක් පළවූ ප‍්‍රථම අවස්ථාව එය විය. ඉඳින් ඒ අවස්ථාව එදා මාලිනි කැලණි කල්‍යාණිය වූ දවසේ කුකුල් මස්ද සමගින් රැ කෑමවේල පිළියෙල කර භුක්ති විඳි සතුටටත් වඩා භුක්ති විඳිය යුතු සතුටක්ය. තිස්ස කොතලාවල නම් ඡායාරූප ශිල්පියෙක් විසින් එම ඡායාරූපය ගෙන තිබුණි.
පොත් ටික ළමැදට තුරුළු කරගෙන අඩිරූලෙන් තට්ටු කර ගනිමින් මාලිනී කැලණිය ගුරුකුලයට යන්නේ සෝමලතා අක්කා, චන්ද්‍රා ඇතුළු පිරිස පිරිවරාගෙනය.
වෙනදා මාලිනීට ”රොකට්” යැයි කියමින් විහිළු තහළු කළ කොල්ලන් මෙදා මේ සොඳුරු යුවතියට විහිළු තහළු කරන්නට පෙරමගට පැමිණියේ නැත. එහෙත් කිරුළක් පැළඳි තම සුන්දර යෙහෙළිය වටකර ගත් පන්තියේ යහළු යෙහෙළියෝ ඇයට දුන්නේ සොඳුරු වධයකි.
ඒ රුවැති යුවතිය නොරත රතට නාට්‍යයෙන් ප‍්‍රසිද්ධ වේදිකාවට පිවිසියාය. නොරත රතට සමග ඇරැඹි ගමන ගුත්තිලය අකල් වැස්ස පසුකර නැවතුනේ ”නිදිකුම්බා” අද්දරය. ප‍්‍රධාන භූමිකාවන්ට පණ පොවමින් ඇය වේදිකා නාට්‍ය දහහතරක පමණ රඟපෑවාය.
මාලිනී තම ප‍්‍රථම චිත‍්‍රපටය වූ පුංචි බබා චිත‍්‍රපටයට කැන්දාගෙන ඒමේ ගෞරවය ප‍්‍රවීණ නළුවකු වූ ජෝ අබේවික‍්‍රමට හිමිවිය යුතුය.
පුංචි බබා ගෙන් පටන්ගත් ගමන අබුද්දස්ස කාලේ, දහසක් සිතිවිලි, පාරාවළලූ පසුකර ඉතා දිග ගමනක් පැමිණියේය. දෙස් විදෙස් සම්මාන වලින් ඒ ගමනේදී ඇය පිදුම් ලද්දීය.
හෙළ සිනමාවේ අග රැජිණ බවට පත්වීම දක්වා ඈ පැමිණි ගමනේදී ඈ සිනමාව තුළ මෙන්ම ජීවිතය තුළද ලද අත්දැකීම් බොහොමයකි. අන් හැම ගැහැනියකගේ ජීවිතයට මෙන්ම ආදරය පේ‍්‍රමය මෙන්ම විවාහය වෙන්වීම ඇගේ ජීවිතයටද එකසේ අදාළ වූ කරුණු කාරණා විය.
”මාලිනී මුළු ජීවිතේම කැපකරලා තියෙන්නේ සිනමාවට. එය අප‍්‍රමාණ ගෞරවයට ලක්කළ යුත්තක්. එහෙත් මාලිනී සම්බන්ධයෙන් එකදෙයක් නොකියාම බැහැ. මාලිනිගේ රංග ප‍්‍රතිභාවට අනුව තමාට උපරිම ආකාරයෙන් නිරූපණය කළ හැකි චරිතයක් තවමත් ඇයට ලැබුණද කියලා හිතෙනවා. අනෙක් නිළියන්ගෙන් මාලිනී වෙනස් වෙන ප‍්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි ඇය එකවිට දක්ෂ චරිතාංග නිළියක් හා ජනප‍්‍රිය තරුවක්ද වීම. රුක්මණී දේවියගෙන් පසු ලංකාවේ බිහිවූ ජනප‍්‍රියම ශිල්පිණිය මාලිනීයි. ඇය එවන් ඉහළ ජනප‍්‍රියත්වයක් අඛණ්ඩව වසර විසිපහක් රැකගෙන තිබීම පුදුමයක් නෙවෙයි. එය ඇය උපතින්ම ලද වාසනා ගුණයක්”
ඒ මාලිනී ෆොන්සේකා පිළිබඳව පුංචි බබා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මහතා කළ ප‍්‍රකාශයකි.
1965 දී රාජ්‍ය නාට්‍ය උළෙලේදී අකල්වැස්ස වෙනුවෙන් හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලද මාලිනිය දීපශිඛා සම්මානය, ඕ.සී.අයි.සී. සම්මානය, ජනාධිපති සම්මානය, සරසවි සම්මානය, සෙන්ටා සම්මානය වැනි සම්මාන ගණනාවකින් වාර ගණනාවකදීම පිදුම් ලද්දීය.
ළමා වියේ සිට යොවුන් විය දක්වාත් ඇගේ සිනමා ජීවිතය හා ඇගේ ජීවිතය ගැනත් කතා කරනවානම් කතා කරන්නට ඇති දෑ අනල්පය. එහෙත් ඇගේ ජීවිතය තවදුරටත් කියවීමේ ඉඩහසර ඔබට ඉතුරු කර සඳැල්ල පිටු තුළ කළ මාලිනිගේ ”මගේ කතාව” අපි මෙතකින් සමාප්ත කරමු.!



