වෙළෙඳ සේවා වොලිබෝල් අවසන් තරග 16 වැනිදා මහරගමදී


වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා වොලිබෝල් තරගමාලාවේ අවසන් තරග මේ මස 16 වැනිදා මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මහනුවර මාස් ඇක්ටිව් කොන්ටුවර්ලින් පිල සහ වැලිසර බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් පිල පිරිමි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි. මාවතගම මාස් කැෂුවලයින් පිල සහ රිදීගම බ‍්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් පිල කාන්තා ශූරතාව සඳහා තරග වදියි. අක‍්‍රීයව පැවැති වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය මෙම වසරේදී යළිත් පිහිටුවීය. වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියක් සංවිධානය කරන්නේ වසර පහකට පසුවය. තරගාවලියට දිවයිනේ සමාගම් සහ ආයතනවලින් පිරිමි හා කාන්තා කණ්ඩායම් 65 ක් සහභාගිවිය. පිරිමි ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 150,000 ක් සමග ශූරතා කුසලාන සහ පදක්කම්ද, අනුශූරතාව ලබන කණ්ඩායමට කුසලානය සමග රුපියල් 100,000 ක්ද, තෙවැනි ස්ථානය හිමිකර ගන්නා පිලට රුපියල් 50,000 ක් සමග පදක්කම් ද පිරිනැමෙති. කාන්තා තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට කුසලානය සමගින් රුපියල් ලක්‍ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර අනුශූරයන්ට හිමිවන ත්‍යාග මුදල රුපියල් 50,000 කි. තෙවැනි ස්ථානයට රුපියල් 25,000 ක් පිරිනැමේ. දක්‍ෂතම ක‍්‍රීඩකයාට සහ ක‍්‍රීඩිකාවට ද මුදලින් ත්‍යාග පිරිනමන බව සංවිධායක කමිටුව පවසයි. සුමිත‍්‍ර හසලක ක‍්‍රීඩා සමාජය සහ ටෙක්ස්ටර්ඞ් ජර්සි ලංකා පිල පිරිමි තෙවැනි ස්ථානය සඳහා ද, කපුගොඩ මාස් ලීනියා ඇක්වා පිල සහ වැලිසර බ‍්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් පිල කාන්තා තෙවැනි ස්ථානය සඳහා ද තරග වදියි.