වෙරළ දැල්පන්දු තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට
මීගමුව මුහුදු වෙරළේ පැවැති 2012 ආසියානු වෙරළ දැල්පන්දු තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය. එහි පිරිමි ශූරතාව ඉන්දීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
කාන්තා සහ පිරිමි වෙරළ දැල්පන්දු තරග මීගමුව ”කැටමරන් බීච්” හෝටලය අසළ වෙරළේදී පෙරේදා (1 වැනිදා) පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ මාලදිවයින මෙම තරගාවලියට සහභාගි වූහ.
කාන්තා දැල් පන්දු තරගාවලියේ අනුශූරතාව මාල දිවයින් කණ්ඩායමට හිමිවිය. අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මාලදිවයින් පිල ලකුණු 19-10කින් පරාජය කරන ලදී.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම චම්පා ගලප්පත්ති විසින් මෙහෙයවන ලද අතර කාංචනා ජයවීර, චතුරාංගනී මල්කාන්ති සහ රාජිකා ගයනි සෙසු සාමාජිකාවෝ වූහ.
පිරිමි අවසාන මහා තරගය ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්විණි. එහිදී ඉන්දීය කණ්ඩායම විසින් පාකිස්තානු පිල පරදවා ලකුණු 21-13ක ජයක් අත්කර ගන්නා ලදී.
ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු, මීගමුව මහජන බැංකු ශාඛාවේ කළමනාකරු ආනන්ද ප‍්‍රනාන්දු සහ ලංකා ”ස්පෝර්ට්ස් රයිසන්” පුද්ගලික සමාගමේ සභාපති තිලක් වීරසිංහ යන මහත්ම මහත්මීන් විසින් ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් පළඳවන ලදී.

