(ඩයනා උදයංගනී)
පළාත් පාලන මැතිවරණයේ දී බහුතර ආයතන සංඛ්‍යාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරඟ කළත් නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ඉන් ගැටලුවක් වන්නේ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ‘අත’ ලකුණ යටතේ පළාත් පාලන ආයතන 218කට ඇප තැන්පත් කර ඇති අතර, තවත් ආයතන 61ක් සඳහා නිදහස් ජනතා සන්ධානය ලෙස හෙලිකොප්ටරය ලකුණින් ඇප බැඳ තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙතෙක් ඇප තැන්පත් කර නැති 62 ක් ඇති අතර, ඒවා සඳහා ද හෙට (20) දිනයේදී ඇප තැන්පත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
නාමයෝජනා භාරදීමෙන් පසු සන්ධානයක් ලෙස එක්ව කටයුතු කරන බව කී සිරිසේන මහතා එම බැඳීමෙහි කිසිඳු බිඳීමක් සිදුව නැතැයි ද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වමේ ප්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ හා එක්ව නිදහස් ජනතා සන්ධානය ගොඩනැගුවත්, නාමයෝජනා සඳහා අපේක්‍ෂකයන් තේරීමේදී ඇතිවූ ගැටලු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වැඩි බලයක් ඇති ප්‍රදේශවලට වෙනම තරඟ කිරීමටත්, තවත් ප්‍රදේශවලට සන්ධානයක් ලෙසත් තරඟ කිරීමට තීරණය කළ බව ද සිරිසේන මහතා පැවසීය.

