වෙඩි තැබීම් රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක් අල්ලයි


ඉන්දිකා රාමනායක

 

යතුරුපැදියෙන් ගොස්  ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මොහු හෙරොයින් සමඟ කොළඹ 10 බෝධිරාජ මාවතේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කිරීමේ දී මෙම ඝාතන සහ වෙඩි තැබීම්වල තොරතුරු හෙළිකරගෙන ඇත.

කෙසෙල්වත්ත, මෝදර, බොරැල්ල, මාලිගාවත්ත යන ප‍්‍රදේශවල සිදුකළ වෙඩිතැබීම් රැසකට මොහු සම්බන්ධ බවද පොලිසිය පවසයි.

2016 වසරේ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පුද්ගලයකුගේ කටට වෙඩි තබා තුවාල සිදුකිරීම, 2018.2.20 දින   බොරැල්ල  කොටා පාරේ දුම්රිය හරස් මාර්ගය අසලදී  පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදුකිරීම, 2018.3.19 දින කොටහේන ප‍්‍රදේශයේ දී පුද්ගලයකුට  වෙඩි තබා ඝාතනය කිරීම, 2018.3.27 දින  මාලිගාවත්ත  ප‍්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම යන සිද්ධීන් මොහු විසින් සිදුකර ඇති බවට තොරු හෙළි වු බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්තේ පදිංචි හිරාම් මොහොමඩ් බසීන් නැමැති අය බවද පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයියා මහතාගේ උපදෙස් මත, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙයෙවීමෙන්, උප පොලිස් පරීක්ෂක ඩී එල් ටී නයනජිත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.