වී අලෙවි මණ්ඩල සතු වී වී මෝල් වලට මුදා හරිනවා


(විනීතා එම් ගමගේ)

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කිරීම සදහා වී මෝල්වලට මුදාහරින බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා ලංකාදීපයට  අද (22)  පැවැසීය.
 
 දිසාපතිවරුන්ගේ නිර්ිදේශය මත මෝල්වලට වී බෙදාහරින්නේ සතොසට සහල් ලබා දීම සදහා යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට වසා දමා ඇති වී මෝල්වලට මෙන්ම කඩා හා මධ්‍ය පරිමාණ වී මෝල්වලට ද මෙහි දී විශේෂ අවධානය යොමු කරන බව ද සදහන් කළේය.
 
 මේ වනවිටත් ගබඩාවලින් වී තොග නිකුත් කිරීම පටන්ගෙන ඇතැයි ද එය සාර්ථක ද අසාර්ථක ද යන්න ගැන දැන්ම කථාකළ නොහැකි යැයි ද පැවසූ වික‍්‍රමනායක මහතා මේ වනවිට හිඟයක් නොමැතිව සතොසේ සහල් ඇතැයි ද පැවැසීය.
 
 කෙසේ වෙතත් මෙම කටයුත්තේදීත් මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් උපක‍්‍රමශීලී ලෙසින් සහල් මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ යැයි සැකයක් මතුවන බව කී වික‍්‍රමනායක මහතා මෙම ජාවරම්වලට සමහර නිලධාරින්ගේ සහය දෙමින් වී තොග පරණ වෙන්නට ඉඩ හැර සිටින බව පෙනී යන්නේ යැයි කියා සිටියේය.
 
 රුපියල් 45 ට ලබා ගත් වී එසේ පරණ වෙන්නට හැර සත්ව ආහාර සඳහා රුපියල් 20ක් වැනි මුදලකට විකිණිමට කටයුතු කරන බවත් එසේ පරණ වී  සත්ව ආහාරවලට විකුණන සහල් පවා මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමේ ඒවා බවත් හෙතෙම සදහන් කළේය.
 
මෙකී මාෆියාව මර්දනයට රජය මැදිහත්විය යුතුම යැයි ද සුපිරි වෙළද සැල්වලට වී ලබා දී ඒවා සහල් කර විකුණන්නේ ද යන්න ගැන අධීක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් පිළිබදව ද අවධානය යොමු වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.