(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ සහිත පෝස්ටර් ඔසවමින් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ යෙදීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන්කාරී තත්වයක්අද(23)පෙරවරුවේ ඇතිවිය.
මේ උද්ඝෝෂණය ආරම්භ වූයේ රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් මොහොතකට පසුවය .
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එරෙහිව විවිධ සටන් පාඨ සහිත පුවරු සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මැතිසබයේ පැයකට ආසන්න කාලයක් මෙසේ උද්ඝෝෂණයේ යෙදුණහ.
එක් අවස්ථාවකදී එම මන්ත්‍රීවරුන් සභා ගැබ මැදින් කතානායකවරයාගේ ආසනය අසලටද පැමිණ උද්ඝෝෂණයේ යෙදෙන අයුරු දක්නට ලැබිණ .
ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයේ යෙදුණු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බැනවැදීම සහ විවිධ චෝදනා එල්ල කිරීම නිසා දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් බහින්බස්වීම්ද මෙහිදී ඇතිවිය .
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ උද්ඝෝෂණය පැවැත්වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සිය අසුනේ වාඩිවී සිටියේය .
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු "ආණ්ඩුව මාරයි ගෝඨා හමාරයි ", රට රකින මිනිහා පොහොර ටික කෑවා ", "ආණ්ඩුව කැඳ හැළියක් ", "ඉන්ධන බඩු මිල අඩු කරනු" යනාදී සටන් සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ උද්ඝෝෂණයේ යෙදුණහ.
සමහර මන්ත්‍රීවරුන් උද්ඝෝෂණය අතරේදී එම සටන්පාඨ සහිත පුවරු සිය මේස මත රඳවනුද දක්නට ලැබිණ .
මෙහිදී ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු"රනිල් ආවා විතරයි හොඳටම බය වෙලා. ඔය උද්ඝෝෂණ කරන්නේ එතුමාට විරුද්ධවයි ." යනුවෙන් පැවසූහ .
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයේ යෙදුණද කතානායකවරයා මැතිසබේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන කරගෙන ගියේය.
විපක්ෂ නායකවරයා පෙර දිනක ඇසූ ප්‍රශ්නයකට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උද්ඝෝෂණය මැද පිළිතුරු දුන්නාය. ඇය එම ප්‍රශ්නයට පිළිතුරු දී කතාව අවසන් කළේ විපක්ෂයේ අශෝබන හැසිරීම ගැන කනගාටුවන බව ප්‍රකාශ කරමිනි .
පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ යෙදුණු සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පසුව පිටව යනු දක්නට ලැබිණ .
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රජයට විරෝධය පළ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු යතුරුපැදිවල හා කුඩා වාහනවල නැගී පාර්ලිමේන්තුවට පෙරේදා පැමිණියහ .
.

