( තිළිණි ද සිල්වා )
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා හදිසියේ අභාවප්‍රාප්ත ඇත. රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී තිබේ.
2016 වර්ෂයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ ඒ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදීශිෂ්‍යයෙකුද වේ.
පසුව 1978 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී ( ගෞරව) උපාධිය සහ කොළඹ නීති විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලබා ගත්තේය.
පසුකලෙක 1979 ආචාර්ය නීලන් තෙරුචෙල්වම් මහතාගේ සභාපතිත්වය යුතු මාර්ග ආයතනයේ පර්යේෂණ නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ ඒ මහතා ඉන්පසුව ජාත්‍යන්තර බැංකුවක් වන හොංකොං ඇන්ඩ් ෂැන්හයි බැංකුව ට එක්ව දේශීය හා විදේශීයව විවිධ නිලතල දරමින් 1989 දක්වා එහි සේවය කළේය.
පසුව නීතීඥ වෘත්තියට පිවිසි ඒ මහතා වානිජ නීතිය , බැංකු නීතිය පිළිබදව පෞද්ගලික නීතීඥවරයෙකු ලෙස ප්‍රකට නමක් දිනා ගත් අයෙකු ලෙස මහාධිකරණය , දිසා අධිකරණය , අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කළේය.
2012 වසරේදී ජනාධිපති නීතීඥ ධුරටෙන් පිදුම් ලැබූ ඒ මහතා2013 සහ 2014 වර්ෂය තුළ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීම සදහාපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කටයුතු කළේය.
සිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සේවය තුල විවිධ ක්ෂේත්‍රයේ අයත් තීන්දු තීරණ රැසක් නොබියව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයෙකු ලෙස නමක් දිනා ගත් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පසුගිය කාලයේ සුවිශේෂී නඩු තීන්දුවක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල කාලය සම්පූර්ණ ව නොතිබියදී පාර්ලිමේන්තු විසුරුවා හැරීම නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත් කල ශ්‍රේෂ්ඨාධිකරණ හත් පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු විය.
ඊට අමතර සයිටම් තීන්දුව , යාපනයේ චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරය අත්හිටුවීමේ තීන්දුව ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රැසක් ලබා දුන් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා මිය යෑමට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩු විභාගයේ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකුද විය. විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා තිදරු පියෙකු වන අතර හෙතෙම ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතාගේ සොහොයුරු ද වේ.

