
අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඉකුත් දා (14) රාජකාරි ආරම්භ කළේය.
අද්මිරාල් ආචාර්ය කොළඹගේ මහතා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ සබඳතා අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. හෙතෙම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වේ.
වසර 36ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කටයුතු කළ අතර ඔහු නාවික හමුදාවේ 18 වැනි නාවික හමුදාපතිවරයා වේ. හෙතෙම 2014 වසරේ ජූලි 1 වැනිදා නාවික හමුදාවෙන් විශ්‍රාම ගියේය. ඔහු රණබිමේදී දැක් වූ රණ ශූරත්වය සහ නාවික හමුදාව වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී සේවය වෙනුවෙන් පිදුම් ලැබූ පදක්කම් ලාභියකුද වෙයි.
නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව, අද්මිරාල් කොළඹගේ මහතා කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩල හා පර්යේෂණ මධ්‍යස්ථානයක් වන පාත්ෆයින්ඩර් පදනමේ ඉන්දු ශ්‍රී ලංකා හා සාගර නීති මධ්‍යස්ථානවල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. ඔහු ජාත්‍යන්තර දේශපාලනය, උපායමාර්ගික හා සමුද්‍රීය ආරක්ෂාවට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ විවිධ ශාස්ත්‍රීය ලේඛන ඉදිරිපත් කරමින්, කණ්ඩායම් සාකච්ඡාවලට සහභාගී වෙමින් සහ සැසිවාරවල සභාපතිත්වය දරමින් ද්විපාර්ශ්විය, කලාපීය හා ජාත්‍යන්තර සංසඳ රැසකදී පාත්ෆයින්ඩර් පදනම හා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.
අද්මිරාල් කොළඹගේ මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව හා පාකිස්ථානය යන රටවල විශ්ව විද්‍යාලවල සහ පුහුණු ආයතනවල ආරාධිත කථිකාචාර්යවරයෙකි. ජාත්‍යන්තර වශයෙන් සුප්‍රසිද්ධ අධ්‍යයන සඟරා රැසක සංස්කාරකවරයෙකු හා විචාරකයෙකු ද වෙයි.
විදේශ ලේකම් අද්මිරාල් කොළඹගේ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත්, මැඩ්‍රාස් විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂාව හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධියත්, ලන්ඩන් හි කිංස් කොලීජියෙන් ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන ඇත.
කොළඹගේ මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධනය වන “ඒසිමෙට්‍රික් වෝර්ෆෙයාර් ඇට් සී; ද කේස් ඔෆ් ශ්‍රී ලංකා’’ නිබන්ධනය ජර්මනියේ ලැම්බර්ට් ඇකඩමික් පබ්ලිෂිං මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
හෙතෙම ලන්ඩන් නෝටිකල් ආයතනයේ(Nautical Institute of London) හි සාමාජිකයකු ද වේ.
055


