විදේශ නෞකා කාර්ය මණ්ඩලවලින් අවදානමක්


(බිඟුන් මේනක ගමගේ) 

මගී නෞකාවල පිරිස්වලට මෙරට වරායවලින් ගොඩබැසීම තහනම් කළත් භාණ්ඩ ප්‍රවාහන විදේශ නෞකාවල කාර්යමණ්ඩල සාමාජිකයන් වරායවලින් ගොඩබැසීමෙන් සෞඛ්‍යමය වශයෙන් දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි වරාය තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 

කොරෝනා වයිරස ආසාදනය ලොව පුරා පැතිර යාමත් සමඟ සිංගප්පූරුව, ඉන්දියාව ඇතුළු රටවල් කීපයක් විදේශ නෞකා කාර්යමණ්ඩල ගොඩබැසීමේ මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇතැයි ද එම කාර්ය මණ්ඩල ගොඩබැසීම සඳහා ලංකාවේ වරාය තොටුපොළ පාවිච්චි කරන්නේ යැයි ද ගාල්ල වරායේ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.

ගාල්ල, කොළඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලය වරායවල දැනට මෙම මෙහෙයුම් සිදුවන්නේ යැයි ද විදේශ වරායවලින් පනවා ඇති තාවකාලික තහනමෙන් පසු මෙරට සිදුවන මෙහෙයුම් සංඛ්‍යාත්මකව වැඩි වී ඇතැයි ද එම ප්‍රකාශකයා කීය.

මෙසේ ලංකාවේ වරායවලින් ගොඩ බසින නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් සිය රට බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ භාවිත කරන්නේ යැයි කී හෙතෙම යම්හෙයකින් කොරෝනා අසාදිතයකු ඔවුන් අතර සිටියහොත් එය අතිශය අවදානම් සහගත තත්ත්වයක් වනු ඇතැයි ද අවධාරණය කර කීය. 

එසේ ආසාදිතයකු සිටියහොත් මෙසේ කටුනායක දක්වා ඔවුන් ගමන් කිරීමට ගතවන කාලය හා දුර අනුව ස්වදේශිකයන්ට ආසාදනය වීමට වුව අවදානමක් ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ සුදත් අමරවීර මහතා පැවැසුවේ ඇතැම් රටවල් විදේශ නෞකා කාර්යමණ්ඩල ගොඩබැසීමේ මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇතත් ලංකාව තවමත් මුළුමනින්ම නැවතීමට තීන්දුවක් ගෙන නැති බවය.

එසේ විදේශ නෞකා කාර්යමණ්ඩලවල ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාව යන රටවල් නියෝජනය කරන පිරිස් සිටියහොත් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යටත් කර ඇතැයි ද වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අවදානම හා එය වැලැක්වීමට ඒ ඒ රටවල් අනුගමනය කරන ක්‍රමවේදවල වෙනසක් ඇතැයි ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.