විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගන්න - නාගානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොවිඩ් 19  වසංගතය හේතුවෙන්  පීඩාවට පත්ව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස රජය වෙත නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතීඥභාවය තාවකාලිකව අත්හිටුවා ඇති සිවිල් ක්‍රියාධරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා  විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම  පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති , සෞඛ්‍ය ඇමති සහ ආගමන හා විගමන පාලකවරයා නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති එම පෙත්සමේ මෙසේද සඳහන්වේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මැදපෙරදිග ඇතුළු විදේශගතව සිටින ලාංකිකයින් විශාල පිරිසක් දැඩි ලෙස  පිඩා විඳිමින් සිටිති.

එසේ පීඩාවට පත්ව සිටින  40 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් සිටිති. මෙවැනි තත්ත්වයක සිටින  පිරිස් මෙරටට ගෙන්වා ගැනීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇත.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කළත් ඉන් පලක් වී නොමැත.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද , පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.