විදුලිසැර වද්දවා ඝාතනය කර වලදැමූ වල්අලියාගේ සිරුර ගොඩගනී


(අනීෂා මානගේ)
 
විදුලි සැර වද්දවා ඝාතනය කර හම්බෙගමුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වලදමා තිබූ බව කියන වල් අලියකුගේ සිරුර වැල්ලවාය අධිකරණයේ මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතාගේ නියෝගයකට අනුව අද (29) වනජීවි නිලධාරීන් ගොඩගනු ලැබූහ.
 
අනවසර විදුලි රැහැනක් යොදා වල් අලියකු ඝාතනය කර පෞද්ගලික ඉඩමක වලදමා එම භූමිය වගා බිමක් ලෙස සකස් කළ බවට සැකකරන අයෙකු ඊයේ (28) වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල කුඩාඔය ප්‍රදේශයේ පදිංචි වගාකරුවෙකු බව වනජීවි නිලධාරීහු කියති.
 
හම්බෙගමුව කුඩාඔය ප්‍රදේශයේ අක්කරයක පමණ වන පෞද්ගලික ඉඩමක වලදමා තිබියදී වල් අලියාගේ සිරුරේ කොටස් හමුව තිබිණි. ඉන් අනතුරුව එම ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර විදුලි සැර වැදීම නිසා මෙම වල් අලියා මියගිය බවද ඉන් අනතුරුව අලියා වලදමා එම ඉඩම වගාබිමක් ලෙස සකස් කළ බවට තොරතුරු අනාවරණය කරගත් බව වනජීවි නිලධාරීහු කියති.
 
වනජීවි නිලධාරීන් පොලිස් ආරක්ෂාව ලබාගෙන පෙරේදා (27) රාත්‍රී ජේ.සී.බී යන්ත්‍රයක් දමා ඉඩම හාරා ඇති අතර එහිදී වල් අලියාගේ සිරුරු කොටස් හමුව තිබිණි. පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර උඩවල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක රසික රණතුංග මහතා ඇතුළු වනජීවි නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.