විදුලි හොරුන්ට කෝටි 11 ක දඩ


(මනෝප‍්‍රිය ගුණසේකර)

විදුලි හොරුන්ගෙන් පසුගිය වසර තුළදී (2017) දඩ ලෙස රුපියල් කෝටි 11 කට අධික මුදලක් අයකරගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ඇතුළු ලංකාව පුරා සිදුකළ මෙහෙයුම් වලදී විදුලි හොරුන් දෙදහසට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ පවරන ලද නඩු වලදී ඔවුන් වරදකරුවන්වීම නිසා අධිකරණ විසින් නියම කරන ලද දඩ වලින් රුපියල් කෝටි 11.8 ක් (රුපියල් මිලියන 118 ක් මෙලෙස අයකරගෙන ඇතැයිද සුලක්‍ෂණ ජයවර්ධන මහතා පැවසීය.

ලංකාව පුරා සිටි විදුලි හොරුන් ප‍්‍රධාන විදුලි රැහැනට කොකු ගසා සහ විදුලි මීටර් වෙනස් කොට විදුලිය හොරෙන් ලබාගෙන ඇතැයි පැවසු ජයවර්ධන මහතා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප‍්‍රනාන්දු මහතාට සහ නිලධාරීන්ට ලැබුණු තොරතුරු වලට අනුව සිදුකළ වැටලීම් වලදී විදුලිය හොරෙන් ලබාගත් පුද්ගලයින් අල්ලා ගෙන ඇති බවත් එලෙස අල්ලා ගත් අයගෙන් සමහරක් ව්‍යාපාරිකයින් බවත් පැවසීය.

විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් රටට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් මෙවැනි විදුලි හොරුන් අල්ලා ගැනීම සඳහා ඉදිරියේදීද විමර්ශන සිදුකරන බවත් පැවසු සුලක්‍ෂණ ජයවර්ධන මහතා විදුලිය හොරෙන් ලබාගැනීමේ සිද්ධීන් ඇත්නම් විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ 0112 422259 දරණ අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක්ද කළේය