විදුලි රැහැන්වලට කොකු ගසා විදුලිය ගත් 110 ක් අත්අඩංගුවට


 

 

 

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

විදුලි රැහැන් වලට කොකු ගසා නිවෙස් වලට හොරෙන් විදුලිය ලබාගත් බව කියන තොටලග කජීමාවත්තේ පුද්ගලයින් 110 දෙනෙකු විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය හා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප‍්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන මහතා පැවසීය.

තොටලග වතු ආශි‍්‍රතව ජීවත්වන පුද්ගලයින් වංචනික ක‍්‍රම මඟින් විදුලිය ලබාගන්නා බවට විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප‍්‍රනාන්දු මහතාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සති කිහිපයක් තිස්සේ බුද්ධි තොරතුරු රැස්කිරීමෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි සුලක්‍ෂණ ජයවර්ධන මහතා පැවසීය.

විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් රටට විශාල පාඩුවක් සිදුවී ඇති බවත්  විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය ලබා ගැනීම ඉතාම අන්තරායකාරී බවත් පෙන්වාදෙන ජයවර්ධන මහතා මෙවැනි විදුලි හොරුන් අල්ලා ගැනීම සඳහා ඉදිරියේදී ද විමර්ශන සිදුකරන බවත් පැවසීය.