විදුලි රැහැන නඩත්තු කරමින් සිටි කාර්මිකයා ලොරියේ ගැටී මරුට


(අනීෂා මානගේ)
 
බෙලිඅත්ත ගල්වැව ප්‍රදේශයේ අපරීක්ෂාරී අන්දමින් පැමිණි ලොරි රථයක් නඩත්තු කරමින් තිබූ විදුලි රැහැනක පැටලීම හේතුවෙන්,  ඉණිමගෙහි සිටි විදුලි කාර්මිකයෙකු බිම ඇද වැටී අද(28) මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ හක්මන කෝන්ගල පදිංචිව සිටි සෝමරත්න අබේවික්‍රම (54) නමැති දෙදෙරු පියෙකි. ඔහු විදුලිබල මණ්ඩලයේ ගාල්ල තැනීම් කාර්යාලයේ සේවය කරමින් සිටි අයෙකු බව පොලිසිය කියයි.
 
විදුලිබල මණ්ඩලයේ ගාල්ල තැනීම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් අද ගල්වැව  ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතිය නඩත්තු කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
 
ඉනිමඟක් මත සිටි විදුලි කාර්මිකයා ඉන් බිම වැටී මියගොස් තිබේ. විදුලි රැහැනේ පැටලුණු ලොරි රථය මීටර හැත්තෑපහක් පමණ දුරට ධාවනය කර ඇති අතර මේ නිසා තවත් විදුලි රැහැනක් නඩත්තු කරමින් සිටි සේවකයකුද අනතුරට පත්ව තිබේ. එම සේවකයා ඉණිමගෙහි පාදවලින් එල්ලී සිටියදී බේරා ගැනීමට අනෙක් සේවකයන් සමත්ව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා බෙලිඅත්ත දිසා රෝහලට ඇතුළත් කර තිබිණි.
 
විදුලිබල මණ්ඩලයේ සේවකයන් ප්‍රධාන මාර්ගය දෙපස විදුලි රැහැන් නඩත්තු කිරීම සම්බන්ධයෙන් මාර්ගයේ ධාවනය වන සියලු වාහන රියදුරන් දැනුවත් කර තිබියදී මෙම අනතුර වී ඇතැයි සේවකයෝ පවවසති.

අනතුරින් බිම වැටුණු පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.