විජයකලා ව්‍යවස්ථාව උල්ලංඝණය කළාදැ’යි කථානායක යළි විමසයි


(සුජිත් හේවාජුලිගේ සහ රන්ජිත් පද්මසිරි)

හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කළ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවී ඇත්දැයි යන්න පැහැදිලිව දැනුම් දෙන්නැයි නීතිපතිවරයාට යළි සිහි කැඳවීමක් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.

ම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සඳහන් කරමින් එවා ඇති ලිපියෙහි විජයකලා මහත්මියගේ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්දැයි යන්න නිශ්චිතව සඳහන් නොවන හෙයින් ඒ ගැන දැනුම් දෙන්නැයි ඉල්ලා කතානායකවරයා  නීතිපතිවරයාට මෙසේ යළි සිහි කැඳවීමක් කරන බව කතානායක කාර්යාලයේ
ප්‍රකාශකයෙක් “ලංකාදීප” යට පැවැසීය. 

විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය ගැන නීතිපතිවරයාගේ මතය සඳහන් ලිපිය කතානායකවරයාට ඊයේ (20) ලැබී තිබිණ.

එම ලිපියෙන් නීතිපතිවරයා කතානායකවරයාට දැනුම් දී ඇත්තේ විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය
පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ කටයුතු කරන ලෙසය. 

මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති නම් ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ පොදු එකඟත්වය මත හෝ කටයුතු කළ හැකි බවට ද නීතිපතිවරයා
උපදෙස් දී ඇත. හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට යාපනයේ දී ප්‍රකාශයක් කළේ  ඉකුත් ජූලි මස 2 වැනිදාය.

මේ ප්‍රකාශයෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මැතිසබයේ උද්ඝෝෂණ කරමින් විජයකලා මහේෂ්වරන් මහත්මිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති නිසා ඇයට විරුද්ධව කටයුතු කරන්නැයි  කතානායකවරයාගෙන් ඉල්ලා සිටියහ. විජයකලා මහත්මියගේ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්දැයි යන්න පිළිබඳව කතානායකවරයා නීතිපතිවරයාගේ මතයවිමසුවේ ඉන් අනතුරුවය. 

මේ සිද්ධියෙන් පසුව නීතිපතිවරයා ද පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳව වාර්තාවක් ලබාගෙන තිබිණ.